කිසිම ආගමික ස්ථානයක් සඳහා නොමිලේ විදුලිය ලබා නොදෙන ලෙසත් ඒ වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් නායක හිමිවරු තමන්ව හමුවී ඉල්ලා සිටියේ යැයි විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
නායක හිමිවරුන්ට සහ ආගමික පූජකවරුන්ට විදුලිය උත්පාදන වියදම ගැන අදහසක් නොතිබුණු බව කී ඇමතිවරයා ඔවුන් හිතාගෙන සිටියේ ඒකකය නිශ්පාදන වියදම රුපියල් 16 යැයි ද පැවසුවේය.
එහෙත් තමන් කරුණු පැහැදිලි කර දී ඒකකය නිශ්පාදන වියදම රුපියල් 48 සිට 55 දක්වා වැඩි වී ඇති බව කී විට එම හිමිවරුන් යථාර්ථය වටහා ගත් බව කීවේය.
ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය.
“නායක ස්වාමීන්වහන්සේලා සහ ආගමික පූජකතුමන්ලා හමුවුනා ඊයේ දවසේ. වැරදි අවබෝධයකුත් තිබුනා විදුලි උත්පාදන වියදම ගැන.“
“අගොස්තු මාසය වනවිට ජනවාරි මාසයේ තිබුණ ගල් අඟුරු මිල, දැවි තල් මිල, ඩීසල් මිල, හතර ගුණයකින් වැඩි වෙලා තියනවා.“
“විදුලිබල මණ්ඩලය හැටියට 2021 අවරුද්දේ විදුලිය දීලා පාරිභෝගිකයන්ගෙන් ලැබුනෙ රුපියල් බිලියන 289යි. රුපියල් බිලයන 800ක් ලබා ගන්න තියනවා. ඒක තමයි විදුලිබල මණ්ඩලය ඉල්ලුවෙ. මහජන උපයෝගීතා කොමිසම බිලියන 500යි ලබා දුන්නේ. “
“නායක හිමිවරු නොමිලේ විදුලිය ලබා දෙන්න එපා කියලා කිව්වා. උන්වහන්සේලා ඉල්ලීමක් කළා පූජා නගර වගේ තොරාගත්ත තැන්වලට නොමිලේ විදුලිය ලබා දෙන්න එපා කියලා. එක ක්‍රමයකට විදුලිය ලබා දෙන්න කියලා. ඒ අනුව තමයි අපි යෝජනා කළේ සූර්ය පැනල ක්‍රමයට අවශ්‍ය උපකරණ තාක්ෂණ අඩු පොලී ණයක් ලෙස ලබා දෙන්න..“