දිනසේන රතුගමගේ
යාපනයේ කොට්ටඩි පන්නෙයි මීනාච්චි කෝවිල් පාරෙන් මිනිස් අස්ථි කොටස් හමු වූ ස්ථානය සමූහ මිනී වළක් නොව කාන්තාවක් මරා වළලන ලද ස්ථානයක් විය හැකි බවට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායම ඊයේ ( 19) දා මතයක් ඉදිරිපත් කොට තිබේ.
යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් ඉදිරියේ මෙම වලේ කැනීම් කටයුතු කරගෙන ගිය අවස්ථාවේදී එකම කාන්තාවක් සතු බවට සැක කල හැකි ගවුම් සාරී කොණ්ඩ කටු හමු වී ඇති අතර දත් බෙහෙත් හා දත් බෙහෙත් ටියුබයක්ද හමු වී තිබේ.
මේ පිළිබඳව සිදු කළ මූලික මතුපිට පරීක්ෂණවලට අනුව මේ ස්ථානය කාන්තාවක් මරා දමා වැළලූ ස්ථානයක් පමණක් විය හැකි බවට වෛද්‍යවරු විසින් කළ මූලික ප්‍රකාශයට අනුව පොලීසිය සිදු කළ පරීක්ෂණ වලදී හෙලි වී ඇත්තේ මේ ස්ථානයට නුදුරින් ගොවිපලක සේවය කළ කාන්තාවක් 2006 වසරේදී අතුරුදහන් වී ඇති බවයි.
මෙම වළෙන් හමු වී ඇත්තේ එම කාන්තාවගේ මළ සිරුරේ අස්ථි කොටස් හා හිස් කබලද යන්න පිළිබදව තහවුරු කර ගැනීම සදහා පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
අධිකරණ නියෝග මත මේ ස්ථානයේ 18 හා 19 යන දිනවලදී කැනීම් කටයුතු සිදු කරණ ලද නමුත් කාන්තා ඇදුම් ආයිත්තම් උපකරණ හැරෙන්නට වෙනත් කිසිවක් හමු වී නොමැත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ හා එම ස්ථානයේ කැණීම් කටයුතු තව දුරටත් සිදු වෙමින් පවතී.