ප්‍රකට වෙළෙඳ සන්නාමයක් වන කිරිබත්ගොඩ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් සමාගමේ හිමිකාර සුනිල් තිලකවර්ධන ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය, සිය ව්‍යාපාර සන්නාමය වෙනත් සමාගම් තුනකට භාවිතා කිරීම වළක්වන ලෙස ඉල්ලමින් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති අතර එම නඩුව විභාගයේදී විත්තිකාර සමාගම් සිය වෙළෙඳ නාමය වෙනස් කිරිමට අධිකරණයේදී එකඟ වී ඇති බව වාර්තා වේ.
රටේම ප්‍රසිද්ධියක් උසුලන තිලකවර්ධන ටෙක්ස්ටයිල් ලිමිටඩ්, තිලකවර්ධන ටෙක්ස්ටයිල් චේන් ලිමිටඩ්, තිලකවර්ධන ටෙක්ස්ටයිල් කේ වයි ලිමිටඩ්, තිලකවර්ධන ටෙක්ස්ටයිල් ආර්ඩී ලිමිටඩ් ඇතුළු තිලකවර්ධන සමාගමටම අනුබද්ධිත සමාගම් කීපයක් මෙම නඩුව ගොනු කර ඇත්තේ තිලකවර්ධන සෝලර් පවර් සොලූෂන්, තිලකවර්ධන කන්ස්ට්‍රක්ෂන් ලිමිටඩ් හා ටීසී තිලකවර්ධන ගෘප් ලිමිටඩ් යන ආයතනවලට එරෙහිවය.
මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කිරිබත්ගොඩ තිලකවර්ධන ව්‍යාපාර සමාගම පවසා ඇත්තේ 1986 සුනිල් තිලකවර්ධන මහතා විසින් ඉතා සුළුවෙන් ආරම්භ කළ තිලකවර්ධන ටෙක්ස්ටයිල් සමාගම මුල් කරගෙන මේ වන විට එම සමාගම සාර්ථකත්වයට පත්ව තිලකවර්ධන නාමය සන්නාමයක් බවට පත්ව ඇති බවයි. එය මේ වන විට රටේ ජනතාව තුළ හොඳ නාමයක් ගොඩ නඟාගෙන ඇති අතර එය මේ වන විට ගෘහස්ත සන්නාමයක් බවට පත්ව ඇති බවට ද අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.
එබැවින් එම නාමයම භාවිතා කරමින් වෙනත් සමාගම් පිහිටුවීමෙන් තම බුද්ධිමය දේපළ අයිතිය අභියෝගයට ලක්ව ඇති බව ඔවුන් අධිකරණය හමුවේ පෙන්වා දී ඇත. එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙම තිලකවර්ධන සන්නාමය භාවිතා කිරීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර, පසුව නඩුව විභාගයේදී විත්තිකාර සමාගම් ත්‍රිත්වය සිය නාමය වෙනස් කරමින් කැකිරාව ටීසී තිලකවර්ධන සෝලර් පවර් සොලූෂන්, කැකිරාව ටීසී තිලකවර්ධන කන්ස්ට්‍රක්ෂන් ලිමිටඩ්, කැකිරාව ටීසී තිලකවර්ධන ගෲප් ලිමිටඩ් ලෙස වෙනස් කිරීමට විත්තිකාර පාර්ශවය එකඟ වි ඇති අතර ඔවුන් තිලකවර්ධන නාමය සිය ව්‍යාපාරවලදී තනිව කිසිම විටෙක භාවිතා නොකරන බවට ප්‍රතිඥා දී ඇති බව ද සඳහන් වේ.