කැනියොන් ජල විදුලි බලාගාරයේ මෙගාවොට් 60 විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට හැකියාව ඇතිවී තිබේ.
තුන් මසක් පුරා නතර කර තිබූ කැනියොන් ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු අද (31) සිට ආරම්භ කිරීමෙන් අනතුරුව එලෙස විදුලි ධාරිතාවක් උත්පාදනය කළ හැකි වූ බව එහි නිළධාරියෙක් පැවසීය.
මවුස්සාකැලේ ජලාශයේ සිට කැනියොන් ජල විදුලි බලාගාරය දක්වා ජලය රැගෙන යන භුගත උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස විදුලි උත්පාදන කටයුතු නතර කර තිබිණි.
එම උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැනියොන් ජල විදුලි බලාගාරයට උමං මාර්ගය ඔස්සේ ජලය රැගෙන යාම නතර කර මවුස්සාකැලේ ජලාශයේ සොරොව්ව පුරා මාස තුනක් තිස්සේ විවෘත කර තිබුණි.
එම සොරොව්ව යලිත් අද සිට වසා දමා ඇති අතර, නඩත්තු කටයුතු අවසන් කර ඇත. අනතුරුව කැනියොන් ජල විදුලි බලාගාරයට ජලය රැගෙන යන උමං මාර්ගයෙන් ජලය ලබාගනිමින් ජල විදුලිය උත්පාදනය කිරීමට හැකිව තිබේ.