තුෂාරී කළුබෝවිල
අධික වර්ෂාව, පස්කදු කඩා වැටීම්, දැඩි සුළං, ගංවතුර, ක්ෂණික ගංවතුර හා ජල ගැලීම් හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අකුණු 17ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 93ක ජීවත් වන පවුල් 7529කට අයත් පුද්ගලයන් 28263 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර පුද්ගලයින් 12 දෙනෙකු මරණයට පත් ව ඇතැයි ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය පවසයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 4 දෙනෙක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 3 දෙනෙක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 2ක් සහ මාතලේ, පුත්තලම, මුලතිව් දිස්ත්‍රික්කවල පුද්ගලයන් එක්කෙනා බැගින් මෙසේ මිය ගොස් තිබේ.
නිවාස 815 ක් හානියට පත් ව ඇති අතර පවුල් 470කට අයත් පුද්ගලයින් 1688 දෙනෙක් අවතැන් ව සිටින බව ද ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසූවේ එම අවතැන් පුද්ගලයින් ඥාති නිවෙස් හා සහන කඳවුරුවල තාවකාලික ව නවාතැන් ගෙන සිටින බවයි.
බදුල්ල, නුවරඑළිය, මාතලේ, මහනුවර, මුලතිව්, කොළඹ, ත්‍රිකුණාමලය, මන්නාරම, රත්නපුර, කලුතර, පුත්තලම, අනුරාධපුරය, යාපනය, ගාල්ල, කෑගල්ල,කුරුණෑගල හා කිලිනොච්චිය දිස්ත්‍රික්කවලට වැඩි බලපෑමක් සිදු ව ඇති බව ද කොඩිප්පිලි මහතා කීවේ ය.
දැදුරු ඔය, මහා ඔය, අත්තනගලු ඔය, කැලණි ගඟ, කළු ගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, කලා ඔය ආශ්රිත පහත්බිම් ජලයෙන් යට වී ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, දෙහිඕවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, රත්නපුර, ඇහැලියගොඩ හා කලවාන යන ප්‍රදේශ තවදුරටත් නායයාම් අවදානම් ප්‍රදේශ වන බැවින් ජනතාව ආරක්ෂාකාරී වියයුතු බව දක්වා ඇත.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අධික වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු වන බව යි.







