ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද නව රෙගුලාසි අඩංගු ගැසට් පත්‍රය හේතුවෙන් මෙතෙක් ක්‍රීඩා සංගම් හා සම්මේලනවල මුල් බැස ගෙන සිටි නිලධාරීන් රැසකට ඉදිරියේ පැවැත්වෙන නිලවරණවලට ඉදිරිපත් විය නොහැකි වී ඇතැයි ලංකාසරට වාර්තා වේ.
මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැනට මුල්පුටු දරණ බොහෝ දෙනකු මෙවර නිලවරණයට ඉදිරිපත් නොවී සිටීමට තීරණය කර තිබේ.
සභාපති ෂම්මි ද සිල්වා දෙවරක්ම සභාපති ධූරය ඉසිලූ බැවින් නව රෙගුලාසි අනුව නැවත තරග කළ නොහැකිය. උප සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස හා ලේකම් මොහාන් ද සිල්වා වයස අවුරුදු 70 ට වැඩි වීම නිසාත් උප සභාපති රවින් වික්‍රමරත්න අවුරුදු 8 ක් විධායක සභාවේ සිටීම නිසාත් යළි තරග කළ නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.
පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජැස්වර් උමාර්ටද මීට පෙර අමාත්‍යාංශයේ දූෂණ විමර්ෂණ ඒකකය මගින් වරදකරුවකු බවට නිර්දේශ කර ඇති බැවින් යළි තරග කළ නොහැකිව ඇත.
මලල ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු හා ලේකම් ප්‍රේමා පින්නවලටද වයස් මට්ටම හා ඉහළ නිලතල වල රැඳී සිටි කාල සීමාව නිසා යළි තරග කළ නොහැකි වී තිබේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වාටද නව රෙගුලාසියට අනුව පිට පිට දෙවරක් ධූරයේ සිටි නිසා නැවත වරක් තරග කළ නොහැක.
බැඩ්මින්ටන් සංගමයේද සභාපති රොහාන් ද සිල්වා හා වූෂු සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්තිටත් නැවත වතාවක් තරග කළ නොහැකි බව වාර්තා වේ.
මේ අතර තවත් කිහිප දෙනකුම නව රෙගුලාසිවලට අනුව වසර තුනක වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බැවින් තම වත්කම් හෙළි දරව් වන නිසා ඉදිරිපත් නොවී සිටීමට තීරණය කර ඇත. ක්‍රිකට් ආයතනයේද මෙවැන්නන් කිහිප දෙනකුම සිටින බවත් වාර්තාවේ .
ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ බොහෝ අය පවසන්නේ ක්‍රීඩා ඇමතිවරයාගේ මෙම පියවර බොහෝ යහපත් ප්‍රතිඵල ක්‍රීඩාවට උදා කරනු ඇති බවය.







