ගුවන් විදුලි නිවේදකයකු මෙන්ම මාධ්‍යවේදියකු වන ජානක සුනෙත් බණ්ඩාරගේ මෑණියන් කහවත්ත වැල්ලඳුර වෙලේවත්ත පිහිටි නිවසේදී ගෙල කපා අභිරහස් අන්දමින් ඝාතනය කිරීම ඇගේ සමීපතම ඥාතියකු විසින් කළේද යන්න ගැන පොලිසිය සැක පහළ කරයි.
පෙරේදා (13 වැනිදා) උදෑසන මෙම අභිරහස් ඝාතනය සිදුවන්නට ඇති බවට ද පොලිසිය සැක කරයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය මවගේ දියණියගෙන් ඇතුළු ඥාතීන් කීප දෙනකුගෙන් මෙන්ම අසල්වාසීන් කීප දෙනකුගෙන්ද පොලිසිය ඊයේ වන විට ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබිණි.
මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ ජානක සුනෙත් බණ්ඩාරගේ මෑණියන් වන විනීතා ජයසුන්දර නමැති තිදරු මවකි. ඝාතනයට ලක්වූ විනීතා මාතාව හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර ගේ වැඩිමහල් සොහොයුරියද වූවාය.
එමෙන්ම විනීතා මාතාව රන්තපුර දිස්ත්‍රික් සමුපකාර ව්‍යාපාරයේ හිටපු සහකාර ලේකම්වරියක මෙන්ම ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ සේවිකාවකද වූවාය.
ඝාතනයට ලක්වූ විනීතා මාතාව සිය බාල දියණිය සමඟ කහවත්ත නිවසේ පදිංචිව සිට ඇත. අවිවාහක තරුණියක වන බාල දියණිය කහවත්ත ප්‍රාදේශීය කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරමින් සිටියාය.
පෙරේදා සවස බාල දියණිය රැකියාව නිමකර සවස 3.50 ට පමණ නිවසට පැමිණි අවස්ථාවේ ඇගේ මව මුළුතැන් ගේ තුළ රුධිරය ගලන තුවාල සහිතව මියගොස් සිටිනු දැක ඇත.
පසුව ඇය ඒ බව අසල්වාසීන්ට දැනුම්දීමෙන් පසු කහවත්ත පොලිසිය දැනුවත් කර තිබේ.
ඒ අනුව කහවත්ත පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර අපරාධ පරීක්ෂණ සොකෝ නිලධාරීහුද පැමිණ විමර්ශන පැවැත්වූහ.
එහිදී හෙළිවී ඇත්තේ විනීතා මාතාව ඝාතනය කළ නිවසේ සාලයේ තිබූ රුධිරය පැල්ලම් ඝාතකයා විසින් සෝදාහැර ඇති බවයි. සාලයේදී ගෙල කපා ඇය ඝාතනය කළ ඝාතකයා ඇගේ සිරුර බිම දිගේ මුළුතැන්ගෙය දෙසට ඇදගෙන ගොස් ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.
ඝාතනයට ලක්වන අවස්ථාවේ විනීතා මාතාව පැළඳ සිටි රන් මාලය කරාබු යුගලය ඇතුළු භාණ්ඩ කිසිවක් ඝාතකයා රැගෙන ගොස් නැති බවද පොලිසිය පවසයි.
ඝාතකයා මංකොල්ල කෑමට පැමිණි අයකු බවට මතුවන සැකය රන් භාණ්ඩ රැගෙන නොයෑම නිසා පහව යන බවද පොලිසිය පවසයි.
මෙම ඝාතනය කවුරු විසින් සිදුකළේද යන්න දින දෙකක් ඇතුළත හෙළිකරගත හැකිවනු ඇතැයි සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පවසයි.
පසුගිය වසර ගණනක් තුළ කහවත්ත ප්‍රදේශයේ කාන්තා මිනිස් ඝාතන රාශියක් වාර්තාවී තිබූ අතර එම සිද්ධීන්වලින් මුළු රත්නපුරය ප්‍රදේශයම භීතයෙන් ඇළලී ගොස් තිබිණි.
මෙම අභිරහස් ඝාතනයෙන් පසු නැවතත් කහවත්තේ ජනතාව අතර දැඩි භීතියක් පැතිර ගොස් ඇති බව ද ප්‍රදේශවාසීහු පවසති.
මෙම අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇත. – දිවයින







