ඉඳුනිල් කහටපිටිය –
ඊයේ (11) සහ පෙරේදා දෙදින තුළ ඇතිවූ හදිසි තත්ත්වයට හේතුව කුමක්දැයි සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් සිදු කරන බවත් යම් හෙයකින් එය නිලධාරින්ගේ ක්‍රියාකාරකම් මත සිදුවූවක් නම් ඊට එරෙහිව ගත යුතු සියලු ක්‍රියා මාර්ග ගැනීමට තමන් සූදානම් බවත් පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් (විශ්‍රාමික මේජර් ජෙනරාල්) දර්ශන හෙට්ටිආරච්චි පවසයි.
ඔහු කියන්නේ මේ දරුවන් රෝගීන් ලෙස සලකා සිය දරුවන් මෙන් බලා ගැනීමට තමන් එම කඳවුරේ පරිපාලනයට උපදෙස් ලබා දී ඇති බවය.
පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් (විශ්‍රාමික මේජර් ජෙනරාල්) දර්ශන හෙට්ටිආරච්චි වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය.
“ කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය පාලනය කරන්නේ යුද හමුදාවෙන් වුවත් , මෙහි පුනරුත්ථාපනය වෙනුවෙන් දරුවන් අප සලකන්නේ රෝගීන් ලෙසයි.”
“ඔවුන්ගේ දෛනික කටයුතුවලදී ඇතිවන මානසික පීඩන තත්ත්වයෙන් සිදු කරන විවිධ ක්‍රියාකාරකම් පාලනය කිරීමට දැඩි පියවර ගැනීමට අපට හැකියාවක් නැහැ. උදාහරණයක් ලෙස මොවුන් පැන යන විට වෙඩි තබා හෝ වෙනත් පියවරක් ගෙන ඔවුන්ව පාලනය කිරීමට අපට හැකියාවක් නැහැ.”
“මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඇතිවී තිබෙන රෝගී තත්ත්වයන් සමනය කිරීමට නම් ඔවුන්ට මානුෂීය යහපත් සතුටුදායී පරිසරයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍යයි. කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිලධාරීන්ට මා උපදෙස් ලබාදී තිබෙන්නේ මොවුන් දරුවන් ලෙස රැකබලා ගන්නා ලෙසයි.”
“මේ දින දෙකෙහි ඇතිවූ හදිසි තත්ත්වයට හේතුව කුමක්ද යන්න සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් සිදු කරන අතර යම් හෙයකින් එය නිලධාරින්ගේ ක්‍රියාකාරකම් මත සිදුවූවක් නම් ඊට එරෙහිව ගත යුතු සියලු ක්‍රියා මාර්ග ගැනීමට මම සූදානම්.”
“පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පන්සියයකට ආසන්න රැඳවියන් සංඛ්‍යාවක් රැකබලා ගැනීම සුළුපටු කාරියක් නොවේ. ඒ සඳහා රජය විශාල වියදමක් ද දරන බව අප අමතක කළ යුතු නැහැ. රැඳවියන් වෙනුවෙන් ඉදිකර ඇති මෙම භූමිය තුළ යම් අකටයුත්තක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ සොයා බලා නිසි පියවර ගැනීම මාගේ යුතුකමක් සහ වගකීමක්.”
“මේ මොහොත වන විට ගිය පිරිස් අතරින් පහළොස් දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. පැනගිය සෙසු සියලු පුද්ගලයින් මේ වන විට නැවත සොයා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. “
‘ඔවුන් මෙලෙස පැනයාමට හේතු කාරණය සම්බන්ධයෙන් අදාළ විමර්ශනවලින් අනතුරුව ප්‍රකාශයක් කිරීමට මා සූදානම්..”