මහාචාර්ය සමන් ධර්මකීර්ති –
-
ජාතියක් මහා ව්‍යසනයකින් බේරුණේ ලංකාවේ අනුමත ප්‍රමිතියේ පනවා තිබූ “ජීවානු හරණය“ යන වචනය නිසයි…
-
ප්‍රමිතියකින් තොර පොහොර භාවිතයෙන් සිදුවන විනාශය කාබනික අකාබනික ලෙස බෙදිය නොහැකියි…
-
මේ ප්‍රමිතිය රට තුළ කාබනික පොහොර නිපදවන නිශ්පාදකයන්ට බලපාන්නෙ නෑ… පෙනෙනතෙක් මානය නැති අනාගත ආයෝජන සම්බන්ධව උපකල්පන කර ප්‍රමිතිය වෙනස් කිරීම කිසිසේත්ම අවශ්‍ය නෑ…
නිසි ප්‍රමිතියකින් තොර පොහොර කෘෂි කර්මයේදී භාවිතා කිරීමේදී ඇතිවිය හැකි අනිටු විපාක එම පොහොර රසායනිකද කාබනිකද යන්න මත තීරණය නොවේ. එබැවින් සියලුම කෘෂි යෙදවුම් නිසි ප්‍රමිතියෙන් යුතු විය යුතු බව අප සියල්ලෝම හොදින් අවබෝධ කොට ගත යුතුය.
ජාතියක් බේරා ගත් “ජීවානුහරණය“ වචනය
කාබනික ඝන පොහොර ආනයනයට දැනට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන ලද ජීවානු හරණය කරන ලද කාබනික ඝන පොහොර සඳහා වූ ප්‍රමිතිය ඉමහත් බාධාවක් ලෙස කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් එම “ජීවානු හරණය” යන වචනය නිසා සිදුවීමට ගිය ඇති මහත් විනාශයක් වලක්වා ගැනීමට රටට හැකිවිය. ඒ ප්‍රමිතිය සකස් කළ විද්වතුන්ට අපගේ ප්‍රණාමය දැක්වන අතරම එම ප්‍රමිතියම දේශීය කාබනික පොහොර නිෂ්පාදකයින්ට කේසේ බලපායිද යන්න විමසා බැලීම ඉතාමත් කාලෝචිත යැයි මට සිතේ. ඒ අන්කිසිවක් නිසා නොව මෙය ශ්‍රී ලංකාව වන බැවිනි.
මා දන්නා තරමින් දැනට ඝන කාබනික පොහොර ලෙස නිපද වන්නේ සාමාන්‍ය කොම්පෝස්ට්, නාගරික කසල ආශ්‍රිතව නිපදවන කොම්පෝස්ට් සහ ඒවායේ ව්‍යුත්පන්න පමණි. ඒ සඳහා ප්‍රමිතීන් දෙකක් (SLS 1246:2003 සහ SLS 1704) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් හඳුන්වා දී ඇත. දියර කාබනික පොහොර සඳහා ද එවැනි ප්‍රමිතියක් ඇත. එය SLS 1702 වේ.
රට තුළ දේශීය පොහොර නිශ්පාදකයන් පොහොර ජීවානුහරණය කළ යුතු නැත…
නමුත් මෙම පොහොර හැරුන කොට වෙනත් කාබනික පොහොර අපගේ දේශීය කර්මාන්ත කරුවන්ට නිපදවිය නොහැකිද? උදාහරණයක් ලෙස කුකුල් පොහොර, ගොම පොහොර, හෝ ජීව අඟුරු යොදාගෙන ඒවායේ පෝෂක අනුපාතය පිළිගත් දේශී අමුද්‍රව්‍ය යොදා ගෙන වැඩි දියුණු කර පෙලට් ලෙසට කාබනික පොහොරක් නිපදවූව හොත් ඒ සඳහා භාවිතා කල හැකි ප්‍රමිතිය කුමක්ද? ඒ සඳහා, නම කෙසේ වුවත්, කොම්පෝස්ට් සඳහා වූ ප්‍රමිතිය (SLS 1246:2003) භාවිතා කළහැකිය යන්න මගේ මතයයි.
ඉතා සුළු වෙනස් කම් කිහිපයක් සමහර විට කිරීමට සිදුවිය හැක. නමුත් ඒ සඳහා ජීවානුහරණය කළ ඝන පොහොර සඳහාවූ ප්‍රමිතිය යොදා ගත නොහැකිය. ඒ මෙවැනි පොහොර අඩු වියදමකින් ජීවානුහරණය කළ හැකි තාක්ෂණයක් දේශීය ව්‍යසායකයින්ට නොමැති නිසාවෙනි. අනෙක් අතට ජීවානුහරණය කිරීම ඒවායේ ගුණාත්මය පහල දැමීමටත් දේශීයව සිටින ක්ෂුද්‍ර ජීවීන් මගින් ඉටු කරන හිතකර ක්‍රියාවලි අඩපන කරන ඉමහත් අනුවණ කමකුත් වන බැවින් එවැනි අවශ්‍යතාවයක් ද කිසිසේත්ම පැන නොනගී.
නොපෙනෙන ව්‍යාපාර ගැන උපකල්පනය කරමින් ප්‍රමිතිය වෙනස් කරන්නෙ ඇය?
කාට හෝ ඉතා ඉහල ගුණාත්මයෙන් යුතු අමිනෝ අම්ල හෝ හියුමෙට් හෝ ෆල්වික් අම්ල සහිත කාබනික පොහොරක් නිෂ්පාදනය කර ශ්‍රී ලාංකික ගොවි ජනතාවට දීමට අවශ්‍ය වුව හොත් ඒ සඳහා යොදාගත හැකි ප්‍රමිතියක් දැනට නැත. අනෙක් අතට ඒවා හදන තාක්ෂණයක් ද මෙරටේ දැනට නැත. එවැනි තාක්ෂණයක් තිබුනත් ගොවීන්ට පහසු මිලකට ඒවා දිය හැකි බවක්ද මට නොපෙනේ. මොකද එවැනි පොහොර මහා පරිමාණයෙන් නිපදන රට වලද ඒවායේ මිල ගණන් ඉතා අධික වන බැවිනි.
එවැනි අනාගතයේ එන 21 වන සියවස් කාබනික පොහොර වලට මේ හදිසියේ ප්‍රමිතීන් සැදිය යුතුද යන්නම ප්‍රශ්නයකි. එවැනි අනාගතයේ දේශීය කර්මාන්ත කරුවන් වෙළඳ පොලට හඳුන්වාදීමට ඉඩ කඩ ඇති පොහොර සඳහා දැනට ඇති ප්‍රමිතීන් කඩිමුඩියේ වෙනස් කළ යුතුද නැත.