දිනසේන රතුගමගේ –
වවුනියාවේ සිදම්බරපුරම් ප්‍රදේශයේ පාසලක ගුරුවරුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් එක් ගුරුවරයෙකු තුවාල ලබා ඊයේ (21) වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙම ගැටුමට හේතුව ගුරුවරියක් සමග ප්‍රේම සබඳතාවයක් එක් ගුරුවරයෙකු විසින් පවත්වා ගෙන යමින් තිබියදී තවත් ගුරුවරයෙකු ඇය සමග පෙම් කිරීමට යාමෙන් ඇති වූ ආරවුලක් බවට තොරතුරු ලැබී ඇත.
සිද්ධිය මුල් කරගෙන ඒ ඒ ගුරුවරයාට හිතවත් ගුරුවරු වශයෙන් දෙපිලකට බෙදී බහින් බස් වීමෙන් පසුව එම බහින් බස්වීම දුරදිග යාමෙන් පසුව දෙපිරිසේ සාමාජිකයින් එකිනෙකාට පහර දී ගෙන තිබේ.
ගුරුවරු දෙපිරිස එකිනෙකාට පහර දීගෙන ඇත්තේ පාසල් සිසුන් බලාගෙන සිටියදී නිසා මේ සම්බන්ධයෙන් ගුරුවරුන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගයක් ගැනීමට වවුනියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය පියවර ගෙන තිබේ.
මේ අතර තුවාල ලැබූ ගුරුවරයෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බවට ලැබී ඇති පැමිණිල්ලක් මත සිද්ධිය සම්බන්ධයෙන් සිදම්බරපුරම් පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.