හිග බදු, දඩ හා පොළී මුදල් ලෙස රුපියල් බිලියන 773ක් එනම් රුපියල් කෝටි 77300ක් අය කර ගැනීමට බැරි ව සිටින දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2023 වසරේ අයවැයෙන් ලබා දී ඇති සියයට 69ක් වැඩි සපුරා ගැනීම ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ට හැකියාවක් තිබේද යන්න බරපතල ගැටලුවක් බව පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතා පුකාශ කළේය.
පසුගිය 28 වැනිදා කෝපා කමිටුව හමුවට දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළ මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ මෙවැනි අසීරුතාවක දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවතිද්දී 2022 වර්ෂයේදී ඇස්තමේන්තු කළ බදු ආදායම ලෙස රුපියල් බිලියන 1852ක් රජය අපේක්ෂා කොට ඇති බවත් එය 2023 මෙවර අය වැයේදී රුපියල් බිලියන 3130 දක්වා වැඩිකර ගැනීමට සැලසුම් කොට ඇති බවත් ය.
මෙම අපේක්ෂිත බදු ආදායම ළගා කර ගැනීමට නොහැකි වුවහොත් විශාල අයවැය පරතරයක් ඇති වන බවත් රටක් ලෙස බලාපොරොත්තු වන සියලු ඉලක්ක සපුරාගැනීම අසාර්ථක වන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මෙහිදී මෙම බදු මුදල් අය කර ගැනීම සඳහා ඇති ප්‍රධාන සාධකයක් ලෙස ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) හඳුනාගෙන ඇති බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවේදී බිලියන 773ක් වන හිග මුදලෙන් රුපියල් බිලියන 201ක් කිසිඳු නීතිමය ගැටලුවකින් තොරව අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති නමුත් එම මුදල අය කර ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව විගණකාධිපතිවරයා ප්‍රශ්න කළේය.
එසේම RAMIS සහ Legacy යන පද්ධති දෙක යටතේම අයවිය යුතු මුලු හිඟ බදු මුදල් වශයෙන් මෙම මුදල හඳුනාගෙන ඇති බව ද මෙහිදී විගණකාධිපතිවරයා විසින් පෙන්වාදෙන ලද අතර මෙම හිඟ බදු මුදලින් අය කළ හැකි ආදායම ලෙස පවතින රුපියල් බිලියන 201 මුදල අය කර නොගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම මුදල් දැනටමත් කොටස් වශයෙන් අයකරගැනීමට කටයුතු කොට ඇති බවයි.
මෙහිදී මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා නිර්දේශ කළේ අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති හිඟ බදු මුදල් කොටස් වශයෙන් හෝ අය කර ගන්නා ආකාරය පිළිබඳ දින වකවානු සහිතව තොරතුරු ඇතුළත් වාර්තාවක් කෝපා කමිටුවට ලබා දෙන ලෙසයි.