මනම්පිටිය නිමල් ජයරත්න –
මාදුරුඔය ඉසෙඩ්.ඩි. ප්‍රධාන ඇළට පිඹුරත්තෑව ප්‍රදේශයෙන් අද (28) අලුයම වැටී සිටි අලි දෙදෙනෙකු පැය අටක මෙහෙයුමකින් අනතුරුව වෙහෙරගල වනජීවී නිලධාරීන් විසින් ගොඩට ගෙන උල්පත්වැව රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කළහ.
බීමට ජලය සොයා පැමිණ ඉසෙඩ් ඩී ඇළට වැටී සිටියෙදී ගොඩගත් මෙම අලි දෙදෙනාගේ වයස අවුරුදු පහළොවක් පමණ බවත්, ඇළට වැටී සිටි අලි දෙදෙනා ජලය සැඩපහරට කිලෝමීටර තුනක් පමණ ගසාගෙන ගොස් ඇති බවත් වෙහෙරගල වන අඩවි සහකාර නිලධාරී ආර්. ආර්. ශාන්ත පැවසීය.
ටයර් , යකඩ දම්වැල් කඹ හා කොට ආධාරයෙන් එම අලි දෙදෙනා ගොඩගැනීමට 10 කින් යුත් වනජීවී නිලධාරී කණ්ඩායමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වූ බව ද ඔහු කීවේය.
එම අලි දෙදෙනා ගොඩගැනීම සඳහා අරලගංවිල පොලිසියේ සහය ද ලබා ගැනීමට සිදු වූ අතර අලි දෙදෙනා ගොඩගැනීම සඳහා ප්‍රදේශයේ තරුණයන්ගේ සහාය ද ලැබී තිබිණි.