කපිල කේ හීනටියන –
ටෙහෙරානය වෙත එල්ල වූ ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාවකින් පසු, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වී තිබේ. මේ ඝාතනය ඉරාන රජය විසින් තහවුරු කළේය. 1989 වසරේ සිට ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කළ 86 හැවිරිදි ඉරානයේ පූජනීය නායකයා පෙබරවාරි 28 සෙනසුරාදා අලුයම එල්ල වූ ප්‍රහාරවලින් දිවි පුදා තිබිනි.
වාර්තා වලට අනුව, ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ කමේනි ටෙහෙරාන් නුවර පිහිටි ඔහුගේ කාර්යාලයේ රාජකාරි කරමින් සිට ඇත. මෙම ප්‍රහාරයෙන් ඔහුගේ දියණියක, බෑණනුවන් සහ මුණුපුරෙකු ඇතුළු පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙය සැලසුම් කළ ඝාතනයකි. මෙම ඝාතනයට පෙර කමේනි, කමේනිගේ අනුප්‍රාප්තිකයා පමණක් නොව ආගමික නායක ප්‍රජාව ඝාතනය කරන බව ඇමරිකාව නිවේදනය කර තිබුණේය. ලෝක සදාචාරය සහ ජාත්‍යන්තර සම්මුතීන් අමු අමුවේ උල්ලංඝනය කරමින් ලෝකය තම අණසක යටතට ගැනීමේ අභිලාෂයෙන් පෙළෙන ඇමරිකාජ එක්සත් ජනපදයේ මෑතකාලීන මුග්ධ හැසිරීම යළිත් වරක් මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ ගමන් මග ප්‍රශ්න කර තිබේ. ස්වෛරී රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට අත්තනෝමතික ලෙස මැදිහත් වෙමින් තමන්ට රුචි පරිදි ලෝක දේශපාලනය හැසිරවීමට දරන ට්‍රම්පගේ උම්මන්තක උත්සාහය ලෝකය නිරයක් බවට පත් කරන ලකුණු මේ වනවිට පහළ වෙමින් ඇත
රටේ ස්වෛරී භාවය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති මෙම ප්‍රහාරයට එරෙහිව “විනාශකාරී” ප්‍රතිචාරයක් දක්වන බවට ඉරාන බලධාරීන් ප්‍රතිඥා දී ඇත. ඉරාන රජයේ ගුවන් විදුලි හා රූපවාහිනී සේවය (IRIB) සහ IRNA පුවත් ඒජන්සිය ඇතුළු නිල මාධ්‍ය ආයතන කිහිපයක්ම මෙම මරණය තහවුරු කර දින 40ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
අයතුල්ලා අලි කමේනි කවුද?

අයතුල්ලා අලි කමේනි 1939 වසරේදී ඉරානයේ මෂාඩ් (Mashhad) නුවරදී උපත ලැබීය. ඉතාමත් භක්තිමත් ආගමික පවුලක හැදී වැඩුණු ඔහු, කුඩා කල සිටම ඉස්ලාමීය දේවධර්මය පිළිබඳ ගැඹුරු අධ්‍යාපනයක් ලැබූ අතර පසුව ඉරානයේ ප්‍රධාන ආගමික කේන්ද්‍රස්ථානය වන ‘කුම්’ (Qom) නුවරදී සිය උසස් අධ්‍යාපනය ලැබීය. එහිදී ඔහු ඉරාන විප්ලවයේ පියා ලෙස සැලකෙන අයතුල්ලා කොමේනිගේ සමීපතම ගෝලයෙකු බවට පත් වූ අතර, එවකට ඉරානය පාලනය කළ ෂා රජුගේ බටහිර ලැදි පාලනයට එරෙහිව ක්‍රියාකාරීව දේශපාලනයට අවතීර්ණ විය.
1979 වසරේදී සිදුවූ ඉතිහාසගත ඉරාන ඉස්ලාමීය විප්ලවයේදී කමේනි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. විප්ලවයට පෙර ෂා රජුගේ පාලන සමයේදී ඔහු කිහිප වතාවක්ම සිරගත කරනු ලැබූ අතර දැඩි වධහිංසාවලටද ලක් විය. විප්ලවයෙන් පසු ඉරානය ඉස්ලාමීය ජනරජයක් බවට පත් වූ විට, ඔහු එරට ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙසත්, පසුව 1981 සිට 1989 දක්වා ඉරානයේ තෙවන ජනාධිපතිවරයා ලෙසත් කටයුතු කළේය. විශේෂයෙන්ම ඉරාන-ඉරාක යුද්ධය පැවති දරුණුතම කාලසීමාව තුළ රට මෙහෙයවීමේ වගකීම ඔහු දැරීය.
1989 වසරේදී අයතුල්ලා කොමේනිගේ අභාවයෙන් පසු, අලි කමේනි ඉරානයේ දෙවන “උත්තරීතර නායකයා” ලෙස තේරී පත් විය. ඉරාන දේශපාලන ව්‍යුහය තුළ උත්තරීතර නායකයා යනු ජනාධිපතිවරයාටත් වඩා ඉහළින් සිටින, එරට හමුදාව, අධිකරණය සහ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ අවසාන තීරණය ගන්නා පුද්ගලයාය. දශක තුනකට අධික කාලයක් ඔහු මෙම ධූරය දරමින් ඉරානය තුළ ඉස්ලාමීය මතවාදය තහවුරු කිරීමටත්, බටහිර බලපෑම්වලට එරෙහිව දැඩි ස්ථාවරයක සිටීමටත් කටයුතු කළේය.
දශක තුනකට අධික කාලයක් ඉරානය මෙහෙයවූ අයතුල්ලා අලි කමේනිගේ ඊයේ අළුයම ඇමරිකාව ප්‍රමුඛ කල්ලිය විසින් ඝාතනය කළේය. . ඔහුගේ ඝාතනය මැදපෙරදිග කලාපයේ පවතින දේශපාලනික ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. අමෙරිකානු සහ ඊශ්‍රායල බලපෑම්වලට එරෙහිව සිය දිවිය පුරා දැඩි ස්ථාවරයක සිටි ඔහු, ඉරානයේ ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටි ප්‍රධානතම සෙන්පතියා ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
ට්‍රම්ප්ගේ වියරු ප්‍රකාශ

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, Truth Social ජාලයේ සටහනක් තබමින් කමේනිගේ මරණය ප්‍රසිද්ධියේ නිවේදනය කළ පළමු පිරිස අතර විය. ට්‍රම්ප් කමේනිව හඳුන්වනු ලැබුවේ “ඉතිහාසයේ සිටි වඩාත්ම දුෂ්ට පුද්ගලයෙකු” ලෙස ය. ඉරාන ජනතාවට තම රට නැවත අත්පත් කර ගැනීමට ලැබුණු “විශාලතම අවස්ථාව” මෙය බව ට්‍රම්ප් කීවේය.
ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් වලින් එල්ල වන තර්ජන හමුවේ මෙම ප්‍රහාර “සතිය පුරා” පවතිනු ඇති බවටද ට්‍රම්ප් ඉඟි කළේය.
මේ ප්‍රහාරය එල්ල වන්නේ ඉරානය දැනට අවි ආයුධ සඳහා අවශ්‍ය මට්ටමට යුරේනියම් බල ගැන්වීමක් හෝ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල (ICBM) සන්තකයේ තබා ගැනීමක් සිදු කර නොමැති බව තහවුරු වන අවස්ථාවක බව කිව යුතුව තිබේ. ප්‍රහාර එල්ල වන්නේ තම න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී අරමුණු සඳහා පමණක් බව ඉරානය විසින් යළි යළිත් අවධාරණය කරන මොහොතකය.
ඉරාණයේ න්‍යෂ්ඨික වැඩ සටහන සම්බන්ධව ඕමානයේ මැදිහත්වීමෙන් පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වෙමින් පවතින මොහොතක මෙම ප්‍රහාරය එල්ල කර ඇමරිකාව විසින් ඊශ්‍රයාලය ලවා කමේනිව ඝාතනය කරන්නේය. පෙබරවාරි 27 වැනිදා ඕමාන් විදේශ අමාත්‍ය බද්ර් බින් හමාඩ් අල් බුසයිඩි, අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් හමුවීමෙන් පසු ප්‍රකාශ කළේ සාකච්ඡාවල “විශාල ප්‍රගතියක්” ඇති වී ඇති බවත්, සාරවත් කළ යුරේනියම් තොග රැස් නොකිරීමට සහ පවතින ද්‍රව්‍ය ඉන්ධන බවට පත් කිරීමට ඉරානය එකඟ වූ බවත්ය. හෙට ( 2 වැනිදා) වියානාහිදී ඒ පිළිබඳ තාක්ෂණික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබියදීත් මෙම ප්‍රහාරයන් සිදු විය. මේ පිළිබඳව ප්‍රසිද්ධියේ කනගාටුව පළ කළ අල් බුසයිඩි, යුද්ධය වැළැක්වීමේ උත්සාහයන් මෙම ක්‍රියාවන් මගින් “පීලි පන්නා” ඇති බවත්, අමෙරිකාවට පණිවුඩයක් දෙමින් “මෙය ඔබගේ යුද්ධය නොවේ” යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.
පුළුල් යුද්ධයක් වළක්වා ගැනීම සඳහා ඉවසිලිවන්තව කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන ඉල්ලා ඇත. දශක ගණනාවක සතුරුකම් මධ්‍යයේ ඉරාන නායකත්වය බිඳ දැමීම අරමුණු කරගනිමින් ඇමරිකාව සහ ඊශ්‍රායලය ගත් මෙම පියවර ලෝකය බිහිසුණු අවදානමකට ලක් කර තිබේ. ඇමරිකාවේ මරණය තමන්ගේ එළිපත්තට පැමිණ දොරට තට්ටු කරන තෙක් විතැන් වූ ලෝක බල කඳවුරු නිහඬ උපෙක්ෂාවෙන් සිටිනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි තැනට ලෝකය ගමන් කරමින් ඇති අයුරු පමණක් පෙනේ.







