මනම්පිටිය නිමල් ජයරත්න –
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය කරමින් තිබූ ඉන්ධන දුම්රියට අද (16 ) රාත්‍රී 7.05 ට පමණ වැලිකන්ද පුල්ලියාරාඩි ප්‍රදේශයේ 178වන කිලෝමීටර සලකුණ අසල දී වන අලියෙකු ගැටීමෙන් එම වන අලියා එම ස්ථානයේදීම මියගොස් ඇති බව වැලිකන්ද වනජීවී නිලධාරී කාර්යාලය පවසයි.
මියගිය එම වන අලියාගේ වයස අවුරුදු 25 ක් පමණ බව වැලිකන්ද අඩවි ආරක්ෂක කේ ඩී ජානක අප කළ විමසීමකදී සඳහන් කළේය.
වන අලින් නිරන්තරව මෙම ස්ථානයෙන් දුම්රිය මාර්ගය හරහා මාරු වන බවත් එම ස්ථානය පිලිබඳව දුම්රිය රියදුරන්ට දැනුම්වත් වීමට පුවරු සවි කර ඇති නමුත් මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම ස්ථානයේදී වන අලින් අට දෙනකු පමණ මියගොස් ඇති බවත් වනජීවි නිලධාරීහු සඳහන් කරති.
මාදුරුඔය ජාතික වනෝද්‍යානය සහ සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිටින වන අලි වැඩි වශයෙන් එහා මෙහා මාරුවන්නේ මෙම ස්ථානයේ දුම්රිය මාර්ගය හරහා බවද වැලිකන්ද වනජීවී නිළධාරීහු පවසති.
මියගිය වන අලියා සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු හෙට (17) දිනයේ වනජීවී දෙපාර්තමේන්තුවේ පශුවෛද්‍ය නිලධාරියෙකුගේ සහභාගීත්වයෙන් සිදුකරන බව වැලිකන්ද වනජීවී කාර්යාලය සඳහන් කරයි.