මනම්පිටිය නිමල් ජයරත්න –
මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පුහුණු අභ්‍යාසයක නිරතව සිටින ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ මිත්‍ර ශක්ති ක්ෂේත්‍ර යුධ අභ්‍යාසයේ පුහුණුවෙන් අනතුරුව එම සෙබළුන් රැගෙන යාමට ආ බස් රථ දෙකක් අම්පාර මහඔය ප්‍රධාන මාර්ගයේ අම්බලම ප්‍රදේශයේදි 24 වෙනිදා රාත්‍රියේ දී අනතුරට ලක් වීමෙන් බස් රථයක ගමන් කරගත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා මහඔය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතල හෙයින් ඔවුන් මහඔය රෝහලෙන් මඩකලපුව රෝහලට මාරු කර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේය.
අම්පාර ප්‍රදේශයේ සිට මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලට පැමිණෙමින් සිටි මෙම බස් රථ දෙකෙන් ඉදිරියෙන් ගිය බස් රථය නතර කිරීමට උත්සාහ දැරීමත් සමග පිටුපසින් පැමිණි බස් රථය ගැටීමෙන් පිටුපස ගමන් කර බස් රථයේ රියදුරු සහ රිය සහායකයා තුවාල ලබා ඇති බව මහඔය පොලිසිය කියයි.
අනතුරට පත් බස් රථ දෙක පොලිස් භාරයට ගෙන ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කරන බවද මහඔය පොලිසිය සඳහන් කරයි.
ඉන්දු – ශ්‍රි ලංකා ඒකාබද්ධ මිත්‍ර ශක්ති ක්ෂේත්‍ර යුධ අභ්‍යාස පුහුණු වැඩසටහනේ දහවන පාඨමාලාව පසුගිය 14 වෙනිදා මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ දී ආරම්භ වූ අතර එම පුහුණුව අද ( 25 ) අවසන් වීමට නියමිතව තිබුණි.
පුහුණුව අවසන් වීමෙන් අනතුරුව එම හමුදා සෙබළුන් පිරිස මත්තල දක්වා රැගෙන යාමට පැමිණි බස් රථ දෙක මෙලෙස අනතුරට ලක්ව තිබේ.
මෙම අනතුර පිළිබඳ මහඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.







