ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටයට සහභාගී වෙමින් සිටිය දී දකුණු අප්‍රිකානු කලාපයේ පැතිරී ගිය කොවිඩ් ඔමික්‍රොන් ප්‍රභේදය නිසා අයි.සී.සී. විසින් තරතාවලිය අත්හිටුවීමත් සමග සතියක් පුරා යන එන මං නොමැතිව සිම්බාබ්වේ හි කොටු වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද මව්බිමට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සනාථ කරයි.
ඉතියෝපියානු ගුවන් සේවයෙන් කුලියට ගත් විශේෂ ගුවන් යානයකින් කණ්ඩායම ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව එම ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සමග කළ සාකච්ඡාවක දී ඔවුන් ක්‍රිකට් ආයතනයට දන්වා ඇත්තේ තමන්ට එවැනි පහසුකමක් සැපයීමට තවත් සති කීපයක් ගත වනු ඇති බවය. අනතුරුව ගුවන් සමාගම් කීපයක් සමග කළ සාකච්ඡාවකින් පසු අයි.සී.සී. සහයෝගය ද සහිතව ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් යානයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකි වී තිබේ.
චමරී අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ 17ක් එම තරගාවලියට එක් වී සිටියහ. ඔවුන් අතුරින් ක්‍රීඩිකාවන් 06 දෙනෙක් කොවිඩ් ආසාදිත වූහ. එක් කාර්ය මණ්ඩල නිලධාරියෙක් ද ආසාදිත විය.
කොවිඩ් ආසාදිත ක්‍රීඩිකාවන් මෙම ගුවන් යානයෙන් ගෙන්වා ගැනීම ප්‍රශ්නයක් වී තිබේ. කෙසේ වෙතත් මේ වනවිට ඔවුන් කොවිඩ් ආසාදිතව දින 10ක් ගත වී ඇති නිසා ඒ පිළිබඳව සලකා බලා සමස්ථ කණ්ඩායමම ලංකාවට ගෙන්වා ගනු ඇතැයි විශ්වාසය පලවේ.