තම නිවසට යාබද රජයේ ඉඩමක් නීතිවිරෝධී අයුරින් අත්පත් කරගෙන ව්‍යාජ ඔප්පු සාදා අනවසර ඉදිකිරීමක් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා කරන රජීවී ද සිල්වා නමැති කාන්තාවට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිය නීතිඥයන් මාර්ගයෙන් එන්තරවාසියක් යවා තිබේ.
ඒ ඇය විසින් සමාජ ජාල, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලද ඉඩම් අත්පත් කරගැනීමක් ප්‍රකාශවලට එරෙහිව ය.
සංචාරක අමාත්‍යවරයාගේ දේශපාලන බලය භාවිත කරමින් තලවතුගොඩ පිහිටි රජයේ ඉඩමක් නීතිවිරෝධී ආකාරයෙන් අත්පත් කරගෙන අමාත්‍යවරයාගේ බිරිඳගේ නමට ව්‍යාජ ඔප්පු සාදා ලබාගෙන නිවසක් ඉදිකර ඇති බවටත් යාබද ඉඩම ඇතුළුව එහි නිවාස දෙකක් සහිත තමාට වසර ගණනක් තිස්සේ හිරිහැර වන ආකාරයෙන් අමාත්‍යවරයාගේ පාර්ශ්වය හැසිරෙන බවටත් ඇය චෝදනා කර තිබුණි.
එම ප්‍රකාශ මුළුමනින්ම සාවද්‍ය සහ මහජන වෛරයට, පිළිකුලට සහ උපහාසයට ලක් කර ඇති සංචාරක අමාත්‍යවරයා වන තම සේවාදායකයා වන ප්‍රසන්න රණතුංග මහතාට අපහාස වන ප්‍රකාශ බවට රජීවී මහත්මියට යවා ඇති එන්තරවාසියේ සඳහන් වේ.
එමෙන්ම ඇය විසින් කළ ප්‍රකාශයන් තනිකරම සහ ව්‍යාජ ලෙස අපකීර්තියට පත්වන ඒවා බවත් ද්වේෂසහගත, නොසැලකිලිමත්, අශෝභන සහ අසත්‍ය චෝදනා නිසා තම සේවාදායකයාට දැඩි වේදනාවක් ඇති කර ඇති බවත් එහි පවසා තිබේ.
තම සේවාදායකයා ඔහුට සිදු වූ හානියට වන්දියක් ලෙස ලෙස රු. මිලියන පන්සියයක් (රු. 500,000,000) ඉල්ලා සිටින බවත්, එම මුදල දින 14ක් ඇතුළත ගෙවන ලෙසත් එන්තරවාසියෙන් දන්වා තිබේ.
ඇය එම මුදල ගෙවීමට අපොහොසත් වුවහොත්, එම මුදල ඇයගෙන් අයකර ගැනීම සඳහා ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද එන්තරවාසියේ සඳහන් වේ.