කීර්ති ප්‍රනාන්දු –
මාර්ගගත ක්‍රමය ඔස්සේ දැනටමත් ඉගැන්වීම් කටයුතු සිදු කරමින් සිටින පාසල් ගුරුවරුන් හට එම ඉගැන්වීම් නොකරන ලෙසට යම් පුද්ගලයෙක් විසින් කුමන ආකාරයට හෝ තර්ජනයක් එල්ල කරනු ලැබුවහොත් එම පුද්ගලයින්ට එරෙහිව ඍජුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කරනු ලැබිය හැකි අතර 119 දුරකථන අංකයට දනුම් දිය හැකි බවත් එසේත් නොමැති නම් ලඟම පිහිටි පොලිස් ස්ථානයට පැමිණිලි කළ හැකි බවත් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙම නිවේදනය නිකුත් වන්නේ කොළඹ ඉහළම පාසල්වල ගුරුවරු හය දෙනෙක් විසින් තමන්ගේ මාර්ගගත ඉගැන්වීම් කටයුතු නතර කරන ලෙස දන්වා යම් වෘත්තීය සමිතිවලට සම්බන්ධ පුද්ගලයින් කීප දනෙක් මරණ තර්ජන එල්ල කරන බවට ඊයේ (16) මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර වෙත පැමිණිලි කරනු ලැබීමත් සමගය.
ගුරුවරු විසින් ඉදිරිපත් කරන මෙවැනි පැමිණිලි සම්බන්ධව නොපමාව, නිවැරදිව හා ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇත.
රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, තර්ජනය කිරීම, වරදක් බවත්, එවැනි පුද්ගලයන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ අවධානය යොමුකොට කටයුතු කරන බවත් එම නිවේදනකයේ සඳහන් වේ.