ශ්‍රියානි විජේසිංහ –
ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දිලිප් එච්.ලියනගේ වහාම ඉවත්කර ඔහු විසින් රෝහල තුළ සිදුකර ඇති මූල්‍යමය සහ පරිපාලනමය අක්‍රමිකතාවන් පිලිබඳව විදිමත් පරික්ෂණයක් සිදුකරන මෙන් ඉල්ලා රෝහලේ සමස්ථ කාර්යය මණ්ඩලය දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.
රෝහල තුළ මූල්‍යමය හා පරිපාලනමය අක්‍රමිකතාවන් රැසක් සිදුකරමින් සෞඛ්‍ය කාර්යය මණ්ඩල සමාජිකයින්ව අයුතුලෙස ස්ථානමාරු කරමින් දැඩිලෙස මානසික පීඩාවන්ට ලක්කරන බව සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩල එකමුතුව චෝදනා කරයි.
කිසිදු වරදක් නොකර වසර ගණනාවක සිට සිය රාජකාරිය අකුරටම සිදුකරන රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාව මේ වන විට වැරදි චෝදනා පවරා ස්ථානමාරුකිරිමට රෝහල් අධ්‍යක්ෂවරයා කටයුතු කරමින් ඇති බැවින් එම ස්ථානමාරුව ක්‍රියාත්මක නොකළ යුතු බව සමස්ත සෞඛ්‍ය කාර්යය මණ්ඩලය එකමුතුව ඉල්ලා සිටියි.
රෝහල තුළ සිදුවන මූල්‍ය අක්‍රමිකතාවන් හෙළි කිරීමට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කටයුතු කිරිම ඔහුට ස්ථානමාරු ලබා දීමට හේතුවක් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඇඹිලිපිටි ශාඛාවේ සම ලේකම් නුවන් කළුතොට පැවසුවේය.
වත්මන් අධ්‍යක්ෂවරයා රුසියන් වෛද්‍ය උපාධිය හිමි අයෙකු බැවින් ඔහුට සෞඛ්‍ය ලේකම්වරයාගේ රැකවරණය ලැබෙනු ඇති බව සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය චෝදනා කරයි.
මෙම අධ්‍යක්ෂවරයා පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන බැවින් ඔහුට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යංශය තුළ පරික්ෂණයක් ආරම්භ කර ඇතත් මේ වන විට එම පරික්ෂණ යටගසා ඇතැයිද පැවසේ.
රාජ්‍ය මුදල් රුපියල් මිලියන 5ක් වැය කර නවීකරණය කරන ලද ආයතන අංශ ගොඩනැගිල්ලේ එම නිලධාරින් එහි සේවය ආරම්භ කර සතියක් යාමට මත්තෙන් බලහත්කාරයෙන් එළවා දමා තම කාර්යාල සඳහා එම මුළු අංශයම යොදා ගැනීම හා එම ඉදිකිරීමට අදාල බිත්ති අල්මාරිය අත්තනෝමතික ලෙස කඩා ඉවත් කිරීම, කාර්යය මණ්ඩල මේස සඳහා සවිකරන ලද විදුලි සැපයුම් සහ පේනු ගලවා දැමීම ඔහුගේ මැදිහත්වීමෙන් සිදුකර ඇතැයි චෝදනා එල්ල වි ඇත.
තවද රෝහලේ නොමේරු ළඳරු ඒකකය වායු සමනය කිරිමේ ප්‍රසම්පාදනයට අදාලව තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශ බැහැර කර තමාට රිසි පරිදි අඩු වායු සමීකරණ යන්ත්‍ර ප්‍රමාණයක් එහි සවිකර අනෙක් ඒවා තම හිතුමතේට තැන් තැන්වල සවිකිරීම කටයුතු කර ඇති බවද වාර්තාවේ.
එසේම තාක්ෂණික ඇගයීම් කමිටුවේ සිටි ඉංජිනේරුවරයාගේ නිර්දේශ පවා බැහැර කර ප්‍රසම්පාදන ක්‍රියාවලිය අමු අමුවේ උල්ලංඝනය කර ඇති බවද පැවසේ. මේ සියලුම කටයුතු නිලධාරීන්ට තර්ජනය කරමින් සහ බැන වදිමින් සිදුකර ඇති බවට චෝදනා ඇත.
මේ වන විට අධ්‍යක්ෂවරයා ප්‍රදේශයේ ජනතාව අතර රෝහල් කාර්යය මණ්ඩලය පිලිබඳව අප්‍රසාදයක් පල වන අන්දමේ විිවිධ ප්‍රචාරයන් සිදුකරන බවද වෛද්‍ය කළුතොට පැවසුවේය.
රෝහලේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙකු පැවසුවේ හෙද නිලධාරින්ව දැඩි ලෙස මානසික හිංසනය ලක්කිරිමට රෝහල් අධ්‍යක්ෂවරයා කටයුුතු කරමින් සිටින බවයි.
එක්තරා වෛද්‍ය සංගමයකින් මේ වන විට මෙම අධ්‍යක්ෂවරයාව නෙරපා ඇති අතර ඔහු වෙනත් වෛද්‍ය සංගමයක සාමාජිකත්වය ගැනීමට දැඩි උත්සහයක නිරත වන බවද වාර්තාවේ.
රෝහලේ වෘත්තීය සමිති එකමුතු සෞඛ්‍ය ඇමතිවරයාට මේ බව ලිඛිතව දැනුම් දී ඇත. එම ලිපිය පහත දිගුවේ දැක්වේ.







