ව්‍යාපාරිකයෙකුගෙන් බලහත්කාරයෙන් රුපියල් මිලියන 64ක් ලබා ගැනීම සම්න්ධයෙන් විභාග වුණ නඩුවක නඟා තිබූ චෝදනාවලින් එක් චෝදනාවකට වරදකරු වූ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට වසර 05කට අත්හිටවු වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවමක් ද රුපියල් මිලියන 25ක දඩ මුදලක් ගෙවීමට ද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියෝග කළේය.
එහිදී අමාත්‍යවරයාට එරෙහිව තිබූ චෝදනා අතරින් පෙරොන්දු නෝට්ටුවක් අත්සන් කිරීමට සම්බන්ධයෙන් වැරදිකරු වූ අමාත්‍යවරයාට පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කෙරිණි.
මෙම නඩුවේ අමාත්‍යවරයාට එරෙහි සෙසු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කෙරුණු අතර ජූනි මස 20 දිනට අදාළ දඩ මුදල ගෙවන ලෙසට ද නියෝග කළේය.
කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා 2015 අප්‍රේල් 6 හා එම වසරේ ජූනි 2 වනදා අතර කාලයේදී ජෙරාඩ් මෙන්ඩිස් නැමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එවකට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රෂන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරීන් රණතුංග හා නරේෂ් ෆාරික් යන අයට එරෙහිව යහපලාන රජය සමයේදී නීතිපතිවරයා මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.
නඩුවේ තුන්වෙනි විත්තිකරු ලෙස නම් කර සිටි නරේෂ් ෆාරික් නැමැත්තා මේ වන විට විදේශයකට පළා ගොස් සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට අධිකරණය තීරණය කර ඇත.