යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන ලද ජී.එස්.පී ප්ලස් බදු සහනය සමාලෝචනය සඳහා ශ්‍රි ලංකාවට පැමිණෙන දූත පිරිස ශ්‍රි ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන්වන තත්ත්වය පිළිබදව විමසීමට බලාපොරොත්තු වන බවට කර ඇති දැනුම් දිමට අනුව මේ වනවිට ඊට අදාළ ලිපි ගොනු යාවත්කාලීන කිරීම පොලිසිය මඟින් කඩිමුඩියේ සිදු කරමින් පවතින බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
හෙට (27) මෙරටට පැමිණෙන එම නියෝජිතයන් ලබන බදාදා (29) දින මෙරට මානව හිමිකම් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විමසිලිමත් වීමට නියමිත තිබේ. ඒ අනුව ඔවුන් පොලිසිය භාරයේ සිටිය දී ආන්දෝලනයට ලක් වෙමින් ඝාතනය වුණු මාකදුරේ මධුෂ්, ඌරු ජුවා, කොස්ගොඩ තාරක ඇතුළු පුද්ගල ඝාතන රැසක් පිළිබඳවත් පසුගිය කාලයේ උද්ඝෝෂණ මැඩලීමේදී වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම, නිරෝධායනයට යොමු කිරීම සම්බන්ධවත් විමසීමට නියමිත බව පැවසෙන බැවන් ඊට අදාළ ලිපි ගොනු ලහි ලහියේ සකස් කරන බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පොලීසියට කිසිදු සහයක් නොලැබෙන බව පැවසෙන අතර ඊට හේතු වී ඇත්තේ මාකදුරේ මදුෂ් ඇතුළු මරණ කිහිපයකම ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට නිසි ලෙස ලැබී නොමැති වීම බව සඳහන් වේ.
මේ තත්ත්වය මත යුරෝපා සංගමයේ නියෝජිතයන් හමුවේ කරුණු දැක්වීමේ වගකීම පොලිස් නීති අංශ ප්‍රධානියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණයට පැවරී ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කරයි.