ත්‍රිකුණාමලයේ චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට සියයට සියයක අයිකිය අවුරුදු 99කට ලබා දීමට පසුගිය එක්සත් ජාතික පක්ෂ රජයක් කටයුතු කර ඇති බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කරන කතාව අමූලික පට්ටපල් බොරුවක් බවත් මේ ටැංකි සංකීර්ණය වසර 35ක් සඳහා ලබා දී ඇත්තේ මාස හයක් තුළ වානිජ ගිවිසුමක් අත්සන් කරන අවබෝධතා ගිවිසුමකින් බවත් සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතා අද පැවසීය.
මෙම තෙල් ටැංකි සංකීර්ණයේ 99 වාර්ෂිකව එකක් ඩොලර් 1000 බැගින් අය කිරීමක් මත මෙම අවබෝධතා ගිවිසුම මත තාවකාලිකව ලබා දුන්නද ඕනෑම මොහොතක මේ සම්බන්ධයෙන් වානිජ ගිවිසුමකට එලඹීමේ හැකියාවක් පවතින බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ දීර්ඝ පැහැදිළි කිරීමක්ද සමගිනි.
අද (05) කොලඹ දී පැවති මාද්යබහමුවකදී තවදුරටත් අදහස් දැක්වූ කබීර් හෂීම් මන්ත්‍රිවරයා
“ රත්නපුර දිස්ත්‍රික්කයේ මහ සමන් දේවාලයේ ඇසල පෙරහැර පවත්වනවා එහිදී පිලිරුව අරගෙන යනවා. එහි එක පිළිරුවක් තිබෙනවා මුහුණු දෙකක් තිබෙන එකක් එය කවුරුත් දැකලා ඇති එය මහ බබායි එක මුහුණක් ප්‍රසන්නයි. අනිත් මුහුණ යක්ෂයෙකු වගේ මට මතක් වෙන්නේ උදය ගම්මන්පිල ඇමතිවරයා හරියට මහ බබා වගේ මුහුණු දෙකක් තිබෙන මහ බබා වගේ කියලා .එක මුහුණක් ජනතාවට ප්‍රසන්නයි කියලා පෙන්නනවා අනිත් පැත්තෙන් යක්ෂ මුහුණ පෙන්නන්නේ නෑ.
උදය ගම්මන්පිල ඇමතිවරයා ඊයේ මාධ්‍යට කිව්වා ත්‍රිකුණාමලයේ චීන වරායේ තෙල් ටැංකි ටික සදා කාලීනව පහුගිය රජය ඉන්දියාවට ලියල දීපු බව. මෙය පට්ටපල් බොරුවක් මම ඕනෑම තැනක අභියෝග කරනවා. විවාදයකට එන්නත් මම සූදානම් මේ බොරු වෙනුවෙන් පිලිතුරු දෙන්න ප්‍රසිද්ධ වේදිකාවක ගාලුමෝදර පිටිය හරි මම සූදානම්. මේ කියන්නේ බොරුවක් එතුමා කියනවා ත්‍රිකුණාමලය තෙල් ටැංකි 100 අයිතිය ඉන්දියාවට කියලා.
මේක බොරුවක්. මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලා ගොන්නු කියලා හිතාගෙන ගොනාට අන්දල හැමදාම මේක කරන්න බැහැ. 2003 පෙබරවාරි 7 දින චීන වරායේ පහළ අන්තයේ ටැංකි 14 ක් සහ ඉහළ අන්තයේ ටැංකි 85ක් වසර 35කට අවබෝධතා ගිවිසුමට ලබා දුන්නා. ඒ වෙලාවේ 2003 දී මේකට සම්බන්ධ වෙලා රජය එය සාධාරණීකරණය කළේ යුද්ධය තියෙන නිසා දිගටම එල්ටීටීඊ සංවිධානය විසින් තෙල් ටැංකිවල පහර ගැසීම නිසා හමුදාවට තෙල් ගබඩා කිරීමට සහ ආරක්ෂා කිරීමට ප්‍රශ්නයක් තියෙන නිසා ඉන්දියාවත් එක්ක සම්බන්ධ වුණා නම් මේ රැකගන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි මේක ශ්‍රී ලාංකා රජයයි ඉන්දියන් රජයයි හදාගත්ත අවබෝධතා ගිවිසුමක් විතරයි.
ඉන්පසු ස්ථිර වානිජ ගිවිසුමකට යන එකඟතාව මත. ඒ අතරතුර දුන්නෙ එක ටැංකියක් ඩොලර් 1000 බැගින් බදු ගෙවීමක් කරන්න ටැංකි 99ක තිබුණා ඩොලර් දාහක් බැගින් ඩොලර් 9900ක ඉන්දියාව අපේ රටට ගෙවන්න ඕන එය වර්ෂයකට ඉන්දියාව අපේ රටට ගෙවන්න ඕන තව ඩොලර් දාහක එකතු කරල ඩොලර් ලක්ෂයක් වසරකට ගෙවීම් සඳහා තමයි අවබෝධතා ගිවිසුමේ තිබුණේ .
2005 වන විට මේ ආණ්ඩුව පෙරළිලා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති හැටියට පත් වෙනවා එතුමා හැම වේදිකාවකම කිව්වේ මේක නීති විරෝධී ගිවිසුමක් . අපි රජය බලයට ආපු ගමන් මේ පවර ගන්නවා කියලා එතුමා 2005 දී සිංහයා වගේ ප්‍රකාශ කළා. උදය ගම්මන්පිල මහතා ඒ වෙලාවේ ඒ රජයේ ඇමතිවරයෙක් හැටියට කටයුතු කරා හෝ නැත්නම් ඒ ආණ්ඩුව කොටස් කරුවෙක් විදියට හිටියා .
2005 සිට මේයට අවස්ථාව තිබුණා බලයට ආවට පස්සේ ඉන්දියාව රජයත් සමග කතා කරලා එය අයි.ඕ.සී සමාගමෙන් වසරකට ලබාගන්න ඩොලර් ලක්ෂය හැම වසරකම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බාර ගත්තා. ඒ දිගටට අයිඕසී සමාගමට ටැංකි භාවිතා කිරීම ඉඩ දුන්නා ඒ පමණක් නොවෙයි උදය ගම්මන්පිල මහතා ගෙන් අහනවා 2006 අයි.ඕ.සී සමාගමේ පහළ කොටස භාවිතා කරද්දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ යට කෑල්ල ලිහිසි තෙල් යන්ත්රාගාරයක් හදන්නත් ඉඩපාඩු දුන්නා. එයට අවශ්‍ය ලිහිසි තෙල් තියා ගැනීමට ගබඩාවක් හදන්නත් ඉඩදුන්නා. ඉන්ධන පරීක්ෂණාගාරයක් හදන්න චීන වරාය තුළ ඉඩ දුන්නා. මේ සියල්ල කළේ උදය ගම්මන්පිල මහතා ඒ ආණ්ඩුවේ කොටස්කරුවෙක් වශයෙන් සිටියදී.
ඒ ආණ්ඩුවට ඕන තරම් පියවර ගැනීමට අවස්ථාව තිබියදී 2015 යහපාලන ආණ්ඩුව පත් වීමෙන් පසු ඉඩ දුන්නා ප්රජාතන්ත්රවාදී විදියට වෘත්තීය සමිති සමග සාකච්ඡා කරලා විසඳුමකට යන්න. එය 2017 ඛණිජතෙල් වෘත්තිය සමිති එකමුතුව උසාවි ගියා. මෙම ගිවිසුම නීතියෙන් තෙල් සමාගමට අයිතියක් නැත කියලා උසාවි ගිහිල්ලා අධිකරණයේ නඩුව තියෙනවා . එම නඩුව ජයග්‍රහණය කරන්න පුළුවන් ලකුණු තිබෙනවා. ඒත් සමග තමයි මේ අය කියන්නේ සදා කාලිකව දුන්නා කියලා.
මම එතුමාට කියනවා ඛණිජතෙල් වෘත්තිය සමිති එකමුතුවේ බහුතරයක්ම ඉන්නේ පොහොට්ටුවේ අය. ජාතික සේවක සංගමය සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති සියල්ල සිටිනවා. හැබැයි ආණ්ඩු පක්ෂයේ සංගම් තමයි බහුතරයක් සිටින්නේ. 2017 මේ අය ඉදිරිපත් කරපු ලිපියක සඳහන් වෙනවා 1.1 .4 ඡේදයේ “ 2002 වසරේ සූදානම් කරමින් තිබියදී එය අත්හිටුවා 2003 වර්ෂයේ පෙබරවාරි මාසේ 07 වන දින ලංකා ඉන්දියානු තෙල් සමාගම හා ලංකා රජය තාවකාලික ගිවිසුමකට එළඹෙන ලදී. එම ගිවිසුම අනුව මේ රටට ලැබිය යුතු බදු පොලිය වසරකට ඇමරිකන් ඩොලර් දාහක් පමණි. ටැංකි අනූ නමයට ඇමරිකන් ඩොලර් 99000කි. සහ අනෙකුත් පහසුකම් සඳහා ඇමරිකන් ඩොලර් දාහක් ලෙස වසරකට එම මුදල ඇමෙරිකන් ඩොලර් ලක්ෂයකි.“
කෙසේ වුවත් මෙහි 1.2 කොන්දේසියට අනුව මාස හයක් තුළ විධිමත් ගිවිසුමකට එළඹිය යුතු නමුත් මෙතෙක් ඒ සඳහා කටයුතු කර නැති නිසා 2002 අගෝස්තු මස සිට අයි.ඕ.සී නීති විරෝධී ලෙස රජයට මුදල් දෙමින් මෙහි රැඳී සිටින බව වෘත්තිය සමිති සහ එකමුතුව කියනවා.
2005 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ ඉඳලා ඒ මොහොතේම ඒ සමාගම එළියට දාලා තෙල් ටැංකි ටික ආපහු ලබාගන්න තිබුණා . 2009 යුද්ධය ඉවර වුණාට පසුවත් ලබාගන්න තිබුණා. දැන් මේ අය බලයට ඇවිල්ල තියෙනවා. එය ලබාගන්න පුළුවන්. දවස් දෙකකට කලින් උදය ගම්මන්පිල මහතා කියනවා ඉන්දියානු විදේශ ලේකම්වරයා එතනට ගියා… ඒක ඒ අයට නීතියෙන් දීලා තියෙනවා. එම නිසා අයිතියක් තියෙනවා කියලා. නමුත් ඒ අයට අයිතියක් තිබුණේ නැහැ එතනට යන්න. ඇමතිවරයාට තමන්ගේ රටේ ස්වෛරීත්වය වෙනුවෙන් පෙනී සිටින්න බැරිනම් ඇමතිවරයා ගෙදර යා යුතුයි. එතුමා දන්නේ නැත්නම් එතුමාගේ බලය කුමක්ද කියලා. මේ රටේ සම්පත් රකින්න හයියක් නැත්නම් විදේශිකයන් ඉස්සරහ දෙකට නැමෙනවා නම් මේ වගේ ඇමතිවරු අපිට ඕනේ ද ?.
ඒවා වසා ගන්න මහා බඹා වගේ ප්‍රසන්න මූණක් එළියට පෙන්නලා අනිත් පැත්තේ යක්ෂ මූණක් තියාගෙන සිටිනවා මේ රට පාවා දෙන වැඩේ නවත්තන්න කියල ඉල්ලා සිටිනවා. මේක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි. තවදුරටත් මේ ගැන කතා කරනවා නම් 2001 /2005 ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂ යටතේ මිලින්ද මොරගොඩ මහතා අපේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් හැටියට අපේ පක්ෂය විරුද්ධ වෙද්දී රක්ෂණ සංස්ථාව සහ බ්ලූමැන්ඩල් තෙල් සංකීර්ණය පුද්ගලීකරණයට ලක් කළා.
එය 2007 වාසුදේව නානායක්කාර මහතා විසින් නඩුවක් දාලා එයට විරුද්ධව සටන් කරලා නඩු දෙකෙන් රක්ෂණ සංස්ථාව සහ බ්ලූමැන්ඩල් ටැංකි සංකීර්ණය ආපහු ලබා දෙන්න කටයුතු කළා. මහින්ද රාජපක්ෂ මහත්තයා රක්ෂණ සංස්ථාව ගත්තා. එය ගත්තට බ්ලූමැන්ඩල් වල තිබෙන ඛනිජ තෙල් සංසථාවට අයිති තෙල් ටැංකියට ටික බංකරින් සේවාවන්ට එක ගන්නෙ නැතිව ලියලා දුන්නා පුද්ගලික ආයතන වලට. ජෝන් කීල්ස් ආයතනයට සහ තවත් පුද්ගලික ආයතන කිහිපයකට එය බංකරින් කරන්න සහ අයිඕසී එකට බංකරින් කරන්න අයිතිය දුන්නා .
ගම්මන්පිල මහතාගේ මං අහනවා කවුද මේ රට පාවා දීලා තියෙන්නෙ කියලා . එයට ඔබතුමා කල්පනා කරලා පිළිතුරක් දිය යුතුයි. අද එහෙම කරපු මිලින්ද මොරගොඩ මහතා තමයි එදා ඒ ඉන්දියන් රජයත් එක්ක ඩීල් දාලා අද ඉන්දියාවේ මහ කොමසාරිස් විදියට මේ ආණ්ඩුව පත් කරලා තියෙන්නේ .
අපි දන්නවා ඊයේ පෙරේදා ඉන්දියාවේ විදේශ ලේකම් එනවා. අර පරණ හොරු ටික හෝ යටින් රට විකුණන වැඩපිළිවෙළ බොහොම සූක්ෂම ලස්සනට යනවා ඒක වසා ගන්නට හැමතැනටම ගහන්න පටන් අරගෙන. හැබැයි මේ පාර කියන බොරු වලට අපි උත්තර දෙන්න ලෑස්ති අපි මේවා ජනතාවට පැහැදිලි කරන්න ලෑස්තියි