බීබීසී –
පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත ශ්‍රී ලංකා රජය ඉල්ලා අස්කර ගත යුතු බව හියුමන් රයිට් වොච් සංවිධානය අද (17 ) අවධාරණය කළේය.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කළේ, පනත් කෙටුම්පත මගින් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන “පුනරුත්ථාපන” මධ්‍යස්ථානවල පුද්ගලයන් රඳවා තබා ගැනීමට බලධාරීන්ට පුළුල් බලතල ලබා දෙන බවත් එමගින් රැඳවියන් අපයෝජනයට ලක්වීමේ විශාල අවදානමක් ඇති බවයි.
පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත 2022 සැප්තැම්බර් 23 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
“මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයන්, හිටපු සටන්කාමීන්, ප්‍රචණ්ඩ අන්තවාදී කණ්ඩායම්වල සාමාජිකයන් සහ වෙනත් ඕනෑම කණ්ඩායමක්” මධ්‍යස්ථානවල අනිවාර්යයෙන් රඳවා තබා ගැනීමට අවසර දෙනු ඇතැයි හියුමන් රයිට් වොච් පෙන්වා දෙයි.
පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත මගින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් පාලනය කරනු ලබන නව පරිපාලන ව්‍යුහයක් ස්ථාපිත කරනු ලබන්නේ හමුදා කාර්ය මණ්ඩලයක් සහිත “පුනරුත්ථාපන” මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම සඳහා බව හියුමන් රයිට් වොච් සංවිධානය සඳහන් කළේය.
මානව හිමිකම් ක්‍රියාකාරීන් යෝජිත පනත් කෙටුම්පත දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර තිබේ.
හියුමන් රයිට් වොච් පෙන්වා දෙන්නේ යෝජිත කෙටුම්පත මගින් “පුනරුත්ථාපනය” සඳහා යැවීමේ පදනම විස්තර නොකරන බවයි.
මෑත කාලීන රජයේ ප්‍රතිපත්ති මගින්, වැරදිකරුවන් නොවූ පුද්ගලයන් බලහත්කාරයෙන් “පුනරුත්ථාපනය” සඳහා අත්තනෝමතික සහ නොපැහැදිලි බලතල සපයන බව හියුමන් රයිට් වොච් අවධාරණය කළේය.
“ශ්‍රී ලංකා රජයේ යෝජිත ‘පුනරුත්ථාපන’ ප්‍රයත්නයන්, චෝදනා ගොනු කිරීමකින් තොරව පුද්ගලයින් අපයෝජනාත්මක ලෙස රඳවා තබා ගැනීම වැනි දෙයකට වඩා වැඩි දෙයක් නොවන බව පෙනී යනවා,” හියුමන් රයිට්ස් වොච් හි දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනාක්ෂි ගංගුලි පැවසුවාය.
“පුනරුත්ථාපන පනත් කෙටුම්පත තවත් වධහිංසාවලට සහ අයුතු ලෙස සැලකීමට සහ නිමක් නැති රඳවා තබා ගැනීමට පුළුල් ලෙස දොර විවර කරනු ඇත.” ඇය සඳහන් කළාය.
හියුමන් රයිට් වොච් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා රජය මීට පෙර අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීම සඳහා බලහත්කාර “පුනරුත්ථාපන” මධ්‍යස්ථාන භාවිතා කර ඇති බවයි.
එම සංවිධානය පෙන්වා දෙන්නේ, පුනරුත්ථාපන පනත් කෙටුම්පත ශ්‍රී ලංකාව තුළ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීමට අවසර දෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වැනි දිගු ඉතිහාසයක් ඇති නීතිවල නවතම පියවර බවය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් “අන්තවාදී” ලේබලය අලවා ඇති සුළුතර ප්‍රජාවන් හෝ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් ඉලක්ක කිරීමට මෙම නීතිය යොදා ගත හැකි බවද හියුමන් රයිට් වොච් අවධාරණ කරයි.
නිවේදනයේ දැක්වෙන්නේ, අධිකරණ අධීක්‍ෂණයකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට ඉඩ සලසන පුනරුත්ථාපන පනත් කෙටුම්පත යටතේ, රජයේ නිලධාරීන් “සද්භාවයෙන්” ක්‍රියා කළහොත් ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා අපරාධ වගකීමෙන් ආරක්ෂා වනු ඇති බවයි.
නිර්වචනය නොකළ “අවම බලය” භාවිතා කිරීමට ද පනත් කෙටුම්පත මගින් නිලධාරීන්ට බලය ලබා දෙන බව හියුමන් රයිට් වොච් අනාවරණය කළේය.
තවත් විධිවිධානයක් අනුව, “සාධාරණ හේතුවක් නොමැතිව” පහරදීම්, තුවාල කරන, අයහපත් ලෙස සලකන, හෝ පුනරුත්ථාපනය යටතේ සිටින ඕනෑම කෙනෙකුට හිතාමතාම නොසලකා හරින නිලධාරියෙකුට මාස 18ක් දක්වා සිර දඬුවම් නියම කළ හැකි අතර, රැඳවියන්ට හානි කිරීමට “සාධාරණ හේතුවක්” තිබිය හැකි බව යෝජනා කරන බවද හියුමන් රයිට් වොච් පෙන්වා දෙයි.
එම සංවිධානය කියා සිටියේ ජාත්‍යන්තර නීතිය මගින් වධහිංසා පැමිණවීම සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඬුවම් සම්පූර්ණයෙන්ම තහනම් බවයි.
සැප්තැම්බර් 9 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ විෂ, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ වෙනම පනත් කෙටුම්පත මගින් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් යැයි කියන පුද්ගලයින් අනිවාර්යයෙන් පුනරුත්ථාපනය කිරීම සඳහා විධිවිධාන සලසා ඇත.
හියුමන් රයිට් වොච් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට” යලි යලිත් සංසන්දනය කර ඇති “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය” යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයේදී දැනටමත් අපයෝජන කර ඇති නීති සහ භාවිතයන් මෙම නව නීතිය යටතේ තවත් නරක අතට හැරෙනු ඇති බවයි.
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ යෝජිත මත්ද්‍රව්‍ය විරෝධී සංශෝධන නීති, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මූලික අයිතිවාසිකම්වලට පහරදීමේ නවතම පියවර බව හියුමන් රයිට්ස් වොච් චෝදනා කරයි.
කොළඹ මහජන රැස්වීම් සීමා කිරීම සඳහා රාජ්‍ය රහස් පනත භාවිතා කිරීමට ගත් උත්සාහය, එම ක්‍රියාව නීති විරෝධී බවට පුලුල් විරෝධතා මධ්‍යයේ ඔක්තෝම්බර් මස මුලදී ඉල්ලා අස්කර කර ගත් බවද හියුමන් රයිට් වොච් සඳහන් කළේය.
ජනාධිපති වික්‍රමසිංහ අපවාදාත්මක සහ මර්දනකාරී ප්‍රතිපත්ති අනුගමනය කිරීම, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට දැඩි ලෙස අවශ්‍ය ආර්ථික ක්‍රියාමාර්ගවලට මුළු හදවතින්ම පිටුබලය දීම දුෂ්කර කර වන බව මීනාක්ෂි ගංගුලි සඳහන් කළාය.
විදේශීය ආණ්ඩු ශ්‍රී ලාංකික ජනතාවගේ හදිසි අවශ්‍යතා සඳහා සහාය දෙන බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතු නමුත් බරපතල මානව හිමිකම් කඩ කරන අයට එරෙහිව ඉලක්කගත සම්බාධක සහ වෙනත් ක්‍රියාමාර්ග හරහා පියවර ගන්නා බව බවද අවධාරණය කළ යුතු බව හියුමන් රයිට් වොච් අවධාරණය කළේය.







