කිසිවෙකුට නිකරුනේ කන්න දීමට රජය සූදානම් නොමැති අතර, වැඩකළ නොහැකි සියලු රාජ්‍ය සේවකයින්ට ඉවත්ව යන ලෙස තමා දැනුම් දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දන්වා සිටියේය.
ජනාධිපතිවරයා අවධාරණය කළේ බිම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සංවර්ධනයට සහ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කැපවිය යුතු බවය. එසේ කළ නොහැකි කිසිවෙක් තවදුරටත් රාජ්‍ය සේවයේ සිටිය යුතු නැති බැවින් ඔවුන්ට ඉවත් වී යන ලෙස ද ජනාධිපතිවරයා දැන්වූයේය .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (21) අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ උත්සව ශාලාවේ පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමිනි.
දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සොයා බැලීම සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට කැඳවා තිබු මෙම හමුවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කරන පළාත් මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.
බෙදී සිටී කාලය දැන් අවසන් බැවින් සියලු දෙනා එක්ව රට වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ නොපමාව ගතයුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
අලුත් දේශපාලන න්‍යායක් සහ ශිලාචාර දේශපාලන ගමනක් රටට අවශ්‍ය බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැරණි දේශපාලන ක්‍රමය දැන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී අවසන් වී ඇතැයි ද ප්‍රකාශ කළා.
ඓතිහාසික අනුරාධපුර පුද බිම ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරිමට කඩිනම් පියවර ගන්නා බව කී ජනාධිපතිවරයා ඒ සඳහා සියලු පාර්ශ්වයන් නියෝජනය වන පරිදි කමිටුවක් පත් කරන බවත්, එම කටයුතුවලදී විදෙස් උපදේශන සේවා ලබා ගැනීමට ද අපේක්ෂා කරන බවත් කීවේය.







