අසාද් සාලි වහාම අත්අඩංගුවට ගන්නැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා අද පොලිස්පතිවරයාගෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර සිටියේය.
මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු දැක්වූ අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ covid-19 ආසාදිත මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය ට ඉඩ නොදුනහොත් අනාගතයේ දී එහි වන්දිය ගන්නා බවට අසාත් සාලි විසින් කර ඇති තර්ජනය පිළිබඳ වහාම සොයා බලා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසයි.
මෙවන් තර්ජන සිදු කරමින් අන්තවාදයට උඩගෙඩි දෙන ආණ්ඩුවේ හෝ විපක්ෂයේ හෝ ඕනෑම දේශපාලඥයකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස හෙතෙම ඉල්ලා සිටි.
අමාත්‍යවරයා වැඩිදුරටත් මේ කරුණු දැක්වීය.
“අසාත් සාලිලා කියන්නේ හිරේ ඉන්න ඕන අය. රහස් පොලීසියට පින්සිද්ධ වෙන්න අද එළියේ ඉන්නවා. ජනාධිපති කොමිසමේ දී එළි වෙලා තියනවා ඔහු කාටද කෝල් කළේ කාව බේරගන්න ද කියලා. අන්තවාදය පෝෂණය කරන මේ වගේ දේශපාලන අම්බරුවන්ට කටමැත දොඩවන්න ද? අන්තවාදයට ඉඩ දීලා ඊළඟ සහරාන්ලා හදන්න ඉඩදීලා බලා ඉන්නද මේ රජයට ජනතාව ඡන්දය දුන්නේ? මීට කලිනුත් අසාත් සාලි ඉන්දීය මාධ්‍ය කින් මේ වගේ තර්ජනයක් කළා අන්තිමට දිවුරුම් ප්‍රකාශයක් දීලා තමයි එළියට ආවේ. මේක තර්ජනයක් මේ වගේ තර්ජනය කරන්න අන්තවාදයට උඩගෙඩි දෙන්න කටයුතු කරන ආණ්ඩුවේ හෝ විපක්ෂයේ හෝ කවුරුන් හෝ දේශපාලකයන් වහාම අත්අඩංගුවට ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා.”