ක්‍රියාකාරී දේශපාලනඥයන් 20කට වැඩි පිරිසක් 2000 වසරේ සිට මේ දක්වා පාතාලයේ වෙඩි උණ්ඩවලට ගොදුරුවී ඇති බවත් ඒ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඇතුළුව පළාත් පාලන ආයතන 03 සභාපතිවරු පාතාලයේ වෙඩි ප්‍රහාරවලින් ඝාතනය වී ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කරයි.
පාතාලයේ වෙඩි ප්‍රහාරවලට ලක්ව ඝාතනය වූ පිරිස් අතර පළාත් පාලන මන්ත්‍රීවරුන් ද සැලකිය යුතු පිරිසක් වෙති. ඝාතන වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ පාතාලයේ ගැටුම් හේතුවෙනි. ඊට මුල එකී දේශපාලනඥයන් සහ පාතාල අපරාධකරුවන් අතර පැවති ගනුදෙනුය.
ඝාතනය වූ පලාත් පාලන ආයතනවල සභාපතිලා 03ම දකුණේ
පළාත් පාලන ආයතනයක සභාපතිවරයෙක් සභාපති ධුරය දරමින් සිටියදී ඝාතනය වූ තෙවැනි අවස්ථාව වන්නේ ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනයයි. මෙතෙක් ඝාතනය වු පලාත් පාලන ආයතනවල සභාපති වරුන් තිදෙනාම දකුණේ පලාත් පාලන ආයතන නායකයින් වීම විශේෂිතය.
2003 වසරේදී හික්කඩුව නගර සභාවේ සභාපති ගාමිණි පින්නදූව ඝාතනය කරනු ලබන්නේ ද මේ ආකාරයටමය. යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරු නගර සභාවේ සිය කාර්යාලයේ රැඳීසිටි ගාමිණි පින්නදූවට වෙඩි තබා ඝාතනය කර තිබුණි.
අනතුරුව ඝාතනය වන්නේ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ය. 2015 වසරේ මාර්තු 23 වැනිදා මනෝජ් මෙන්ඩිස්ට වෙඩි තබා ඝාතනය කරන්නේ හික්කඩුවේ සංචාරක හෝටලයකදීය.
හික්කඩුව නගර සභාවේ සභාපති ඝාතනයට මෙන්ම රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම ඔහුගේ ප්‍රතිවාදියා වූ අපේක්ෂකයෙක් ඡන්දය පැවති කාලයේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් එකල මනෝජ් මෙන්ඩිස්ගේ නම කියැවිණි. ඒ සම්බන්ධයෙන් ඔහු බන්ධනාගාරගතව ද සිටි අතර වැඩිම මනාපයෙන් රත්ගම සභාපති ධුරයට පත්වන්නේ ද රක්ෂිත බන්ධනාගාරයේ සිටිමිනි. මනෝජ් මෙන්ඩිස් මිනිස් ඝාතන කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට ද චෝදනා එල්ල වූවෙකි. අපරාධ ලෝකයට ඔහුව රැගෙන ගොස් තිබුණේ දකුණු පළාතින් පිට පළාතක හිටපු මහ ඇමැතිවරයෙකි.
මනෝජ් මෙන්ඩිස් ඝාතනය කරනු ලබන්නේ දකුණේ ප්‍රබල පාතාල අපරාධකරුවෙක් වන පොඩි ලැසීය. එම ඝාතනයට මුල පොඩි ලැසීගේ පියාව ඝාතනය කිරීමට පළිගැනීමකි.
වැඩිම මන්ත්‍රීවරුන් ඝාතනය වී ඇත්තේ කොළඹ මහ නගර සභාවේ
පළාත් පාලන ආයතනයක වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් ඝාතනය වී ඇත්තේ කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන්ය. මේ කාලය තුළ සිවු දෙනෙක් ඝාතනය වී ඇත. එම ඝාතනවලින් බොහොමයකට මුල්වී ඇත්තේ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ආරවුල් බව එකල හෙළි විය.
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ද පාතාලයේ වෙඩි ප්‍රහාරයන්ට ලක්ව ඝාතනය විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාව ඝාතනය කරනු ලබන්නේත් පාතාලය විසිනි. අදටත් එම පාතාල අපරාධකරුවන් සිටින්නේ නිදැල්ලේය.ෙ
පාතාලයේ වෙඩි ප්‍රහාරයන්ට ලක්ව පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද ඝාතනය වී ඇත. ඒ අතරින් දෙදෙනෙක්ම බස්නාහිර පළාතේ මන්ත්‍රීවරුන්ය. ඔවුන් දෙදෙනාම ඝාතනය වන්නේ පාතාලයට එරෙහිව කටයුතු කිරීමට ගොසිනි. ඒ අතර සිටින පොදු පෙරමුණේ ඇමතිවරයෙක්ව සිටි සුනිල් මෙන්ඩිස් ඝාතනය කරන්නේ රාගම ඔහුගේ නිවසේදී වෙඩි තබාය.
යකඩ පාලමක් කොටස්වලට කඩා විකුණා ගැනීමට පාතාලයට ඉඩ නොදීම හේතුවෙන් පලාත් පාලන ආයතනයක සභාපති ධුරය හෙබවූ පාතාලයට සම්බන්ධ පුද්ගලයෙක් විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව එම ඝාතනය සිදුකර තිබුණු බව පොලිස් විමර්ශනවලින් එකල අනාවරණය වී තිබුණි. එම ඝාතනයට සම්බන්ධ පාතාලයේ අපරාධකරුවන් මේ වන විට සිටින්නේ ඉන්දියාවේ විවෘත බන්ධනාගාරයකය. ඒ අතර කිඹුලා ඇළ ගුණා සහ කොට ගාමිණි යන අය ද සිටිති.
බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් වූ නාමල් ගුණවර්ධනගේ ඝාතනය ද පාතාලයේ වෙඩිල්ලකි.
කොල්ලුපිටියේදී එම ඝාතනය සිදුවී තිබුණි. එය දේශපාලන පාතාලයේ වැඩක් බව එකල කියැවිණි. චණ්ඩි මල්ලි ලෙස ප්‍රකට දකුණු පළාත් සභාවේ ඇමැතිවරයෙක්ව සිටි එම්.කේ. රංජිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී ඝාතනය වන්නේ ද මේ කාලය තුළදීය. දේශපාලනයට සම්බන්ධ මෙවැනි ඝාතන රැසක්ම පසුගිය වකවානුවේදී සිදුවී ඇත. ( ගයාන් කුමාර වීරසිංහ – දිනමිණ )







