මැතිවරණ මුදල් සීමා කිරීමේ පනත ඉතා හොඳ පනතක් වුවත් මෙය හදිසියේ සම්මත කර ගැනීමෙන් පසුව අධිකරණය හරහා ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත ඡන්දය කල් දමා ගැනීමේ ඉඩකඩක් නිර්මාණය විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මේ කෙටුම්පතට අනුව අපේක්ෂකයන් තමන්ගේ වියදම් සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් සැපයිය යුතු බවත් එය ඉදිරිපත් නොකළහොත් වරදක් බවත් යම් හෙයකන් අධිකරණයට මේ සම්බන්ධයෙන් පෙත්සමක් වුව ඉදිරිපත් විය හැකි අතර එසේ වුවහොත් 2023 මාර්තු මැතිවරණය තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
“අඩු වැඩි වශයෙන් යම් යම් දේවල් තිබුණත් පුළුල් අර්ථයෙන් එය හොඳ පනතක්. එය සිස්ටම් චේන්ජ් එකට ද වැදගත් දෙයක්. මේ දිනවල පුංචි ඡන්දයට අදාළව ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරන නිසා මේ පනත අතිශය වැදගත් වුවත් එය ක්‍රියාත්මක කරන කාලය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතිනවා. මේ තුළින් ව්‍යාකූලත්වයක් ක්‍රියාත්මක වන බවත් යම් හෙයකින් මෙය සම්මත වුවහොත් මාර්තුවේ දී පවත්වන පළාත් පාලන මැතිවරණයට එය යම් බාධාවක්. “ යයිද විපක්ෂ නායකවරයා කියා සිටියේ අද (18) පාර්ලිමේන්තුව අමතමිනි.
එසේ ම මේ කෙටුම්පත සම්මත වීමත් සමඟ රෙගුලාසි පැනවීම නිසා මාර්තු මුල් සතියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක් වන බවත් ඒ තුළින් රජය විසින් මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවත් එය ජනතාව ප්රජාතන්ත්රීය අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.