පසුගිය කාලයේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය නිසා හානියට පත් ගොවිබිම් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව වන්දි මුදලක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව කුඹුරු වගාවට අමතරව බඩඉරඟු, අර්තාපල්, මිරිස්, සොයාබෝංචි වගාවන් සඳහා උක්ත උපරිම වන්දි මුදලට යටත්ව සෙසු වගාබිම් සඳහා ද වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
පසුගිය 02 වනවිට ලබාගත් දත්ත ප්‍රකාරව කුඹුරු අක්කර අනූ එක් දහස් තුන්සීයක් පූර්ණ ලෙස හානි වී ඇති බවත් අක්කර අසූ හය දහස් දෙසීය විසි පහක් අර්ධ හානියට ලක් වී ඇති බවත්, සුළු හා මධ්‍ය පරිමාණ වාරිමාර්ග 273ක් පූර්ණ හානි පූර්ණ ලෙස හානි වී ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
සුළු හා මධ්‍ය පරිමාණ වාරි ව්‍යාපෘති 1148ක් අර්ධ වශයෙන් හානි වී ඇති අතර නුවරඑළියේ පමණක් එළවළු වගා බිම් අක්කර 750ක් විනාශ වී තිබුණු අයුරු ද ඔහු පැවසුවේය.
“හානියට පත් කුඹුරුවලින් වැඩි ප්‍රමාණයක් මාස දෙක හමාර හෝ මාස 3 වී ප්‍රභේද වගා කරපුවා. වගාවට සති තුනක් යනකොට තමයි මේ හානිය වෙලා තියෙන්නේ. ” ඇමතිවරයා කීවේය.
හානියෙන් වූ ආපදා අවම කරගැනීම සඳහා මාස දෙක හමාර හෝ තුන කෙටි කාලීන වී ප්‍රභේද සඳහා රජයේ බීජ ගොවිපලවලින් සහ පුද්ගලික අංශයෙන් බිත්තර වී ලබාගෙන ගොවීන්ට ලබා දීමටත්, වගාබිම්වලට සිදුවූ හානි සඳහා රුපියල් ලක්ෂයක් දක්වා වන්දියක් ලබා දීමටත් කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.







