ජයකාන්ත ලියනගේ – බළපිටිය
අම්බලන්ගොඩ පොලීසිය තුල කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරිනියකගේ පපුව ප්‍රදේශය සපා කමින් බරපතල තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියක් පිළිබඳව අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද තරුණියක් ලබන 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් සමන්ත ආබ්‍රේව් ඊයේ (21) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ නො.36, වලව්වත්ත පාර, මහරගම ලිපිනයේ පදිංචි ජයසිංහ ලියනපතිරණ ප්‍රශාන්ති ගුණසේකර (26) නැමැති කාන්තාවය.
සාපරාධී බලහත්කාරය පෑම, රාජකාරියට බාධා කිරීම සහ කලහකාරී ලෙස හැසිරීම යන චෝදනා යටතේ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන ලද බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
පසුගිය සිකුරාදා (20) සවස බීමත්ව රිය පැදවීමේ චෝදනාවකට අදාලව යතුරු පැදියකින් ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු අම්බලන්ගොඩ පොලීසියේ රථවාහන අංශය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ අංක – 06, පටබැදිමුල්ල, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි අශේන් සෙනෙවිරත්ත (26) සහ අංක 305/7, ලිපිනයේ පදිංචි තිලිණ බුමේෂ් සෙනෙවිරත්ත (23) යන දෙදෙනාය.
මෙම අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීමට සැකකාර තරුණිය පොලීසියට පැමිණ තිබේ. සැකකාරිය, බීමත්ව රිය පැදවීමේ චෝදනාවේ පළමු සැකකරුගේ පෙම්වතිය බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී ඇත.
සැකකාරිය විසින් පොලිස් නිලධාරීන්ට අපහාස කරමින්, කලහකාරී ලෙස පොලිස් ස්ථානය තුල හැසිරෙමින් සිටියදී ඇය අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද පොලිස් නිලධාරණියන් දෙදෙනා මෙසේ සපා කෑමට කටයුතු කර තිබෙන බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
එක් පොලිස් නිලධාරිණියකගේ පපුවේ වම්පස ප්‍රදේශය බරපතල ලෙස සපා කා ඇති බවත් අනෙක් පොලිස් නිලධාරිණියගේ දකුණු අතේ මැද ඇගිල්ල සපා කා තිබෙන බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි.
තරමක් යටට ගිලී ඇති දත් පහරවල් හේතුවෙන් පොලිස් නිලධාරිණියන් දෙදෙනාම දැඩි වේදනාවෙන් පසුවන බවද අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මෙහෙයවීම මත පොලිස් පරීක්ෂක එස් ආර් බී ගමගේ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.