සුසන්ත අමරබන්දු –
අම්පාර දමන ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ගඩොල් පිරවූ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊයේ සවස මෙම අනතුර සිදුවී ඇත්තේ දමනසිට සියඹලාන්ඩුව දක්වා ගමන් ගත් ගඩොල් ලොරියක්, මොනරාගල ප්‍රදේශයේ සිට සයින්දමර්දු දක්වා ගමන් කරමින් තිබූ මොර්ටර් රථයක් සමග දමන එක්ගල්ල අලිවංගුවේ දී මුහුණට මුහුණ ගැටීමෙනි.
අනතුර සිදුවන විට මෝටර් රථයේ අට දෙනෙකුගෙන් යුතු පිරිසක් ගමන් කරමින් සිට ඇත. අනතුර සිදුවී තුවාලකරුවන් දමන රෝහල වෙත ගමන් කරද්දී බරපතල තුවාල ලද සිව් හැවිරිදි පිරිමි ළමයෙකු, මෝටර් රථය පැදවූ 31 හැවිරිදි තරුණයෙකු සහ 29 හැවිරිදි කාන්තාවක් ද මිය ගොස් තිබේ.
මේ වනවිට තවත් පුද්ගලයින් පස් දෙනෙක් අම්පාර රෝහලට ඇතුළත් කර ඇති බවත් ඉන් එක් පුද්ගලයෙක් බරපතල තත්වයේ පසුවන බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.
මෝටර් රථයේ සහ ලොරි රථයේ රියදුරන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දමන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.