“අපි ආණ්ඩුව ඇතුළේ ඉන්නේ ගෙදරක ඉන්න මුර බල්ලෝ වාගෙයි. යම් අනතුරක් දැක්කම බල්ලෝ බුරනවා. එහෙම අනතුරක් දුටුවම බිරුවම වරදවා වටහාගෙන බල්ලා පළවා හැර හරියන්නේ නෑ. එයින් අනතුර ඉවත් වන්නේ නෑ “යි පවසන බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කෙළවරපිටිය යුග දනවි බලාගාරයේ කොටස් ලබා දීම සම්බන්ධයෙන් ඇමෙරිකානු නිව් ෆෝට්රස් සමාගම සමඟ රජය පසුගියදා අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් තමන් කණස්සල්ල පළ කරන බව පැවසීය.
මෙම ගිවිසුමට අදාළ කිසිදු කමිටුවක බලශක්ති අමාත්‍යංශයේ විෂය ප්‍රවීණයන් ඇතුළු අමාත්‍යංශයේ කිසිදු නිලධාරියකු සම්බන්ධ වී නොමැති බවත් මෙම ගිවිසුමේ පවතින බරපතලම ගැටලුව ශ්‍රි ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව අනතුරකට පත් වීම බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කලේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදීය.
බලශක්ති සමාගම සමඟ ඇති කරගත් ගනුදෙනුව පිළිබඳ මතභේදයට නව මුහුණුවරක් දෙමින් විෂය භාර ඇමති උදය ගම්මන්පිල ඊයේ (29) මෙම පියවර ගැන රජයට දැඩි විවේචන එල්ල කළ අතර විනිවිදභාවය නොමැතිකම පිළිබඳ ගැටලු මතු කළේය.
“ නිව් ෆෝට්‍රස් සමාගමට මෙරටට ස්වභාවික වායු සැපයුමේ ඒකාධිකාරය වසර පහකට ලබා දීම එය රටේ බලශක්ති සුරක්‍ෂිතතාවට තර්ජනයක්. අපේ රටේ සිදුකිරීමට යන ඛනිජ තෙල් ගවේෂණ ආයෝජනයන්ටත් එය බාධාවක් විය හැකියි.“
“ගිවිසුමට අත්සන් තැබූ ඉහත කී කිසිදු කමිටුවක විෂය පිළිබඳ ප්‍රවීණයන් වන අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියෙකු නියෝජනය නොකිරීම ගැන මම කනගාටු වෙනවා. මේක ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේදීත් සිදු වුණා. “ යනුවෙන් ගම්මන්පිල කීවේය.
පසුගිය සැප්තැම්බර් 22 දින එක්සත් ජනපදයේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන නිව් ෆෝට්රස් සමාගම සහ ශ්‍රි ලංකා රජය ඒකාබද්ධව නිවේදනය කළේ මෙගාවොට් 310 ක ධාරිතාවකින් යුතු යුගදනවි බලාගාරයට නිව් ෆෝට්රස් ආයෝජනය කිරීම සඳහා නිශ්චිත එකඟතාවකට පැමිණි බවයි. ඒ අනුව එම බලාගාරය ආශ්‍රිතව නව ස්වභාවික වායු බලාගාර පර්යන්තයක් සංවර්ධනය කිරීමේ අයිතිය ද එම සමාගමට පැවරුණි. .
“මෙම සමාගමට 2028 දක්වා ද්‍රව ස්වභාවික වායු සැපයුමේ ඒකාධිකාරයක් ඇති කර ගැනීමට ඉඩ දීමෙන් මන්නාරම් ද්‍රෝණියේ ගෑස් සෙවීම සඳහා ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේදී බාධාවක් විය හැකි බවටද අමාත්‍ය ගම්මන්පිල මේ සම්බන්ධයෙන් තමා දැඩි කනස්සල්ලට පත්වන බවද පැවසීය.