දිනසේන රතුගමගේ
මන්නාරමේ සවුත්බාර් ප්‍රදේශයේ ලුණුලේවායක ගිල්වා මරාදැමූ බවට සැකකෙරෙන කාන්තාවගේ මළසිරුර 24 දා අධිකරණ නියෝගයක් මත මන්නාරම පොදු සුසාන භූමියේදී ඥාතීන් විසින් මිහිදන් කර තිබේ.
ඒ මන්නාරම රෝහලේදී මළ සිරුර සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුවය.
ටෝරිකා ජුලියන් නැමති මෙම විසි එක් හැවිරිදි කාන්තාව මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය විසින් මියගිය කාන්තාවගේ සහෝදරියක් හා තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය කාන්තාවගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා සමග අනියම් සබදකමක් පවත්වා ගෙන යන බවට හෙළි වූ තොරතුරක් මත මේ කාන්තව ලුණුලේවාය දක්වා රැගෙන ගොස් ඇයව ඊට තල්ලු කොට මරා දැමූ බවට පොලීසියට තොරතුරු වාර්තා වී තිබේ.
ඇගේ මළ සිරුර හමුවීමෙන් පසුව ඒ පිළිබදව මන්නාරම පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණවලින් පසුව මියගිය කාන්තාවගේ සහෝදරිය හා තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ අවස්ථාවේදී මෙම ඝාතනය සම්බන්ධයෙන් වු සියලු තොරතුරු අනාවරණය වී තිබේ.
පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් තුන්දෙනා මන්නාරම මහේස්ත්‍රාත් එම්ගණේෂරාජා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව ලබන මස 3 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කොට තිබේ.










