නැවත රටේ අනාගතය සමඟ සෙල්ලම් කිරීමට අවස්ථාවක් නැති බවත් තමන්ගේ අනාගතය පිළිබඳ සිතා ඡන්දය භාවිතා කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මේ වනවිට රජය විසින් පවත්වාගෙන යන “විගමනික හරසර” වැඩසටහනක් අද (21) පෙරවරුවේ කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවැත්වුණු අවස්ථාවේ දීය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදු කරනු ලබන සුභසාධන ප්රතිලාභ වැඩසටහන යටතේ ව්‍යවසායකයින් නිර්මාණය කිරීම සඳහා විගමනික ශ්‍රමිකයෙන් යෝජනා කරන ස්වයං රැකියා ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය ප්රාග්ධනය ලෙස රුපියල් 50,000 බැගින් ප්රදානය කිරීමෙන් අනතුරුව සිය කතාව පවත්වමින් ජනාධිපතිවරයා ලබන මැතිවරණයේ දී සිතා බලා ඡන්දය පාවිච්චි කරන ලෙස විගමිනක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය

රටට විදේශ විනිමය උපයා දී නැවත පැමිණෙන ඔබට යළිත් අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට ආණ්ඩුවෙන් සහයෝගය ලබා දී තිබෙනවා. මෙය ත්‍යාගයක් හෝ ප්‍රදානයක් නොවෙයි. ඔබ ඉටු කළ සේවය නිසා ඔබ ලබාගත් අයිතියක් බව කිවයුතුයි.
විදේශගතව සිට නැවත ලංකාවට පැමිණි පසු පැරණි රැකියාවල නිරතවීමට ඇතැම් අය කැමැත්තක් දක්වන්නේ නැහැ. ජිවිතයේ ඉදිරියට යාමට එය ප්‍රමාණවත් නොවන බව ඔවුන් විශ්වාසය කරනවා. එවන් කැපවීමක් සහ ශක්තියක් තිබෙන අයට අත දිම වෙනුවෙන් මෙම වැඩසටහන ආරම්භ කර තිබෙනවා. එයින් සම්පූර්ණ ප්‍රයෝජන ලබා ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා.
රට ආර්ථික දුෂ්කරතාවට මුහුණ දී සිටි අවස්ථාවේ ඔබ රටට විදේශ විනිමය උපයා දුන්නා. එලෙස මුදල් උපයා දුන්නේ නැතිනම් අපේ ආර්ථිකය ගොඩඟන්න බැරි වෙනවා. මම රට භාරගත්තේ රටේ ආර්ථිකය කඩා වැටී තිබු මොහොතකයි. මට භාර ගැනීමට සිදු වූයේ ඉන්ධන, පොහොර නැති, අනාගතයක් නැති රටක්. රට ඉදිරියට ගෙන යාමේ දී පළමු මාස කිහිපය තුළ ප්‍රශ්න ගණනාවකට මුහුණ දිමට සිදු වුණා. ඔබ මුදල් එව්වේ නැත්නම් අපට එම තත්වයට මුහුණ දීමට නොහැකි වෙනවා.
ඒ වගේම පොහොර නියමිත වේලාවට ලබා දීමට හැකි වූ නිසා පසුගිය කන්නවලදී අපට සාර්ථක අස්වැන්නක් ලැබුණා. මේ සමග අප රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ගියා. ඔබ රටට එවු සෑම ඩොලරයකම විශාල වටිනාකමක් තිබුණා. ඒ වෙනුවෙන් මම සියලුදෙනාට ස්තූති කරනවා.
අපට පසුගිය සිංහල අලුත් අවුරුද්ද, වෙසක් සහ පොසොන් උත්සව හොදින් සැමරීමට හැකි වුණේ ඔබ ලබා දුන් දායකත්වය නිසයි. අප මෙම තත්ත්වයෙන් ඉදිරියට ගොස් රට දියුණු කළයුතුයි.
අපට හැමදාම ණය අරගෙන ආර්ථිකය ඉදිරියට ගෙන යන්න බැහැ. අප ලබාගත් විදේශ ණය ගෙවිය හැකි අන්දමින් අප මේ වන විට සහන ලබාගෙන තිබෙනවා. නමුත් ණය ගෙවු පමණින් අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අප විදේශ විනිමය වැඩිකරගත යුතුයි. අපට අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණය ලබාගන්නා තුරු ණය ලබාගැනීමට තිබෙනවා. ණය ගැනීමත් සමග අපේ ණය ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා විදේශ විනිමය ප්‍රමාණය වැඩිකර ගැනීමට කටයුතු කළයුතුයි.
විදේශ රැකියා සඳහා යන අයට විධිමත් පුහුණුවක් ලබාදීම අවශ්‍යයි. ඔබ ඔබේ සේවය නිම කර නැවත රටට පැමිණෙන විට වඩා වෘත්තීය දැනුමක් ඇති ශ්‍රමිකයෙක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන ලෙස මම ඇමතිතුමාට උපදෙස් දී තිබෙනවා. ඒ වගේම අප අපනයන ආර්ථිකයකට ගමන් කළයුතුයි. විදේශ ආයෝජන ලබා ගත යුතුයි මෙන්ම සංචාරකයන් මෙරටට ගෙන්වා ගත යුතුයි. මෙම නව මාර්ගය ඔස්සේ රට දියුණු කළයුතුයි.
ඒ වගේම රට තුළ කෘෂිකර්මාන්තය දියුණු කළයුතුයි. එහිදී වී නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් අප කෘෂි නවීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. අප රටක් වශයෙන් නොබියව ඉදිරියට යා යුතුයි. මහා පරිමාණ සමාගම් සඳහා ආයෝජකයන් වැඩි වශයෙන් පැමිණෙනවා. එය හොද තත්ත්වයක්. ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීමට රජය කටයුතු කරනවා. නමුත් ඒ සඳහා පමණක් සීමා නොවි මෙරට සාමාන්‍ය ජනතාවත් නගා සිටුවීම මගේ අරමුණයි. ඒවෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ වෙනුවෙන් අස්වැසුම සහ උරුමය වැඩසටහන ආරම්භ කළා. උරුමය වැඩසටහන තුළින් රටේ සියලු ජනතාවට අයිතිය හිමි වෙනවා. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් අවශ්‍ය ණය ලබා දීමට රුපියල් බිලියන 50ක් වෙන් කර තිබෙනවා. රට දියුණු වන විට බිම් මට්ටමත් දියුණුව කරා ගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙළ අප මේ තුළින් සකස් කර තිබෙනවා.
රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේදී තමන්ගේ ගමේ ආර්ථික දියුණුව තමන් බලා ගත යුතුයි. රටේ ආර්ථික දියුණුව පිළිබඳ වගකියන අතරම ගමේ දියුණුව සඳහා අවශ්‍ය ආධාර උපකාර ලබාදිම ද සිදු කරනවා.
නැවත රටේ අනාගතය සමඟ සෙල්ලම් කිරීමට අවස්ථාවක් නැහැ. දේශපාලනය කියන්නේ බොරු පොරොන්දු ලබාදීම හෝ මුහුණ බලා ඡන්දය ලබා දීම නොවෙයි. තමන්ගේ අනාගතය පිළිබඳ සිතා ඡන්දය භාවිතා කළ යුතුයි. එහිදී ඔබසියලු දෙනා වෙත පැවරී ඇති වගකීම සිහිපත් කරනවා.







