ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ICCන් කළ ඉල්ලීම මත ICC මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ මවිතකරවන සුළු ආන්තික තීන්දුව ගත් බව ලෝකයේ අතිශය ප්‍රචලිත ප්‍රධානම ක්‍රිකට් වෙබ් අඩවියවය වන cricinfo වෙබ් අඩවිය වාර්තා කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට්වල පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අද ඉතාම හදිසියේ රැස් වූ ICC මණ්ඩලයේ රැස්වීමට දැනට ඉන්දියාවේ සිටින ෂම්මි ද සිල්වාත් සහභාගී වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ තේරී පත් වූ නියෝජිතයා ලෙස ඔහුව පිළිගැනීමට ICC විසින් තීරණය කර තිබේ.
අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ පරිපාලනයට රජය විසින් කරන ලද පුළුල් මැදිහත්වීම් හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම අත්හිටුවිම නිවේදනය කර ඇතැයි පැවසේ.
අද හදිසියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන සාකච්ඡා කිරීමට ICC ය අන්තර්ජලයෙන් රැස් වුව ද එහි වසරේ කාර්තුවකට වරක් රැස්වන රැස්වීම් නොවැම්බර් 18 සිට 21 දක්වා අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.
ICC මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයින්ට නිරීක්ෂකයෙකු ලෙස සහභාගී වීමට අවසර දී ඇති බැවින් අහමදාබාද්හි පැවැත්වෙන ICC රැස්වීම් සඳහා ඔහු ද සහභාගී වීමට ඉඩ ඇතැයි cricinfo වෙබ් අඩවිය කියයි.
-
මේ සම්බාධකය කුමක් ද?
ICC විසින් මෙම සම්බාධක “අත්හිටුවීමක්” ලෙස නම් කර ඇතත්, ඇත්ත වශයෙන්ම එය අනතුරු ඇඟවීමක් බව ද cricinfo ඇතුළු අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර ඇත.
ICC ශ්‍රී ලංකා ක්‍රිකට් පවත්වාගෙන යාමට තවදුරටත් රජය මැදිහත් වීම වැළැක්වීමට උත්සාහ කරන ආකාරය එම අත්හිටුවිමේ නියෝගයෙන් සන්නිවේදනය කරන බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඔවුන්ට අනුව දැනට පවතින තත්ත්වය තුළ මෙම තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ක්ෂණිකව බලපාන්නේ නැත. ශ්‍රී ලංකා ලෝක කුසලාන තරඟාවලිය බ්‍රහස්පතින්දා අවසන් වූ අතර දෙසැම්බර් මාසය දක්වා මෙරට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවක් නොමැත. ඒ අනුව ජනවාරි මාසය දක්වා ICC අරමුදල් කිසිවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය වෙත යෑමට නියමිත නැත.
ශ්‍රීලංකාව සම්බන්ධ මීළඟ ක්‍රියාමාර්ගය නොවැම්බර් 21 වැනිදා ICC මණ්ඩලය රැස්වූ විට තීරණය කරනු ඇති බවත් cricinfo සඳහන් කරයි.
-
තහනම් කළ පළමු අවස්ථාව
ශ්‍රී ලංකාවේ ක්‍රිකට පරිපාලනය සඳහා අවස්ථා ගණනාවක අතුරු කමිටුව බලයේ සිටියේය. රජය විසින් එවැනි කමිටු පත් කිරීම ක්‍රිකට් ක්‍රීඩාව අත් හිටුවිමට තරම් ආන්තික තීන්දුවක් ගැනීමට මීට පෙර ICC පෙළඹී තිබුණේ නැත.
මීට පෙර 2014 සිට 2015 දක්වා අතුරු කමිටුවක් ක්‍රියාත්මක වූ අවස්ථාවේදී, ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු අරමුදල් බැඳුම්කරයක් සේ තෙවන පාර්ශවයක් යටතේ තැබීමට කටයුතු කළ අතර අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිරීක්ෂක තත්ත්වයට පහත හෙලනු ලැබුවේය..
නමුත් ඔවුන් නිල වශයෙන් ICC හි සාමාජිකයින් ලෙස පවතිමින් සිටියහ.
2019 වසරේ සිම්බාබ්වේ ක්‍රිකට් රජයේ මැදිහත්වීම් හේතුවෙන් අත්හිටුවීමෙන් පසු පසුගිය වසර හතර තුළ ICC විසින් අත්හිටුවන ලද දෙවන පූර්ණ සාමාජිකයා ශ්‍රී ලංකා ක්‍රිකට්ය.
කෙසේ වෙතත්, සිම්බාබ්වේ දි මේ ආකාරයෙන් නොව, රටේ සියලුම ක්‍රිකට් ක්‍රියාකාරකම් හදිසියේම වසා දැමුවේය.
නමුත් ICC ශ්‍රී ලංකාව සම්බන්ධ සිද්ධියේ දී වඩාත් ප්‍රවේශමෙන් පියවර ගනු ඇතැයි ජාත්‍යාන්තර මාධ්‍ය කියයි. .