ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය තුල මේ වන විට බහුල වශයෙන් රිය අනතුරු සිදු වන අතර 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂය තුල සිදු වූ රිය අනතුරු සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
මාස 6 ක් ඇතුලත අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතාට මෙහිදී අමාත්‍යවරයා උපදෙස් දෙන ලදි.
2021 වසර තුලදී ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයන්වල පින්නදූව, අපරැක්ක, කුරුඳුගහහැතැක්ම, අගුණකොලපැලැස්ස, අතුරුගිරිය සහ ගැලනිගම යන ස්ථානයන්හිදී මාරක රිය අනතුරු 07 සිදු වී ඇත.
එයින් 09 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.
2021 වර්ෂයේ දී අධිවේගී මාර්ගවල සිදුවූ සමස්ථ රිය අනතුරු සංඛ්‍යාව 461 වේ.
2020 වර්ෂය තුල අධිවේගී මාර්ගවල මාරක රිය අනතුරු ද සහිතව සිදු වූ සමස්ථ රිය අනතුරු සංඛ්‍යාව 308 කි.
2020 වර්ෂය තුල මාරක රිය අනතුරු 05ක් ගැලනිගම සහ කුරුඳුගහහැතැක්මේදී සිදු වූ අතර එයින් 05 දෙනෙකු ජීවිතක්ෂට පත් විය.
අධිවේගී මාර්ගවල සිදු වූ රිය අනතුරු වලින් බහුතරයක් සිදු වී ඇත්තේ රියදුරුට නින්ද යාම නිසා බැවින් රියදුරන්ට අධිවේගී මාර්ගවල ගිමන් හැරීම සඳහා ගිමන් හරින ස්ථාන ඉදිකිරීම කෙරෙහි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමු විය.
බීමත්ව රිය පැදවීම, අපරික්ෂාකාරී සහ අන්තරාදායක ලෙස රිය පැද වීම, වේග සීමා උල්ලංඝණය කිරීම, ආසන පටි නොපැලඳ ධාවන කිරීම, ජංගම දුරකථනයෙන් කථා කරමින් රිය ධාවන කිරීම, ආදායම් බලපත්‍ර නොමැතිව ධාවන කිරීම වැනි ක්‍රියා සිදු කල රියදුරන් අධිවේගී මාර්ග වල පිටවීමේ දොරටු අසල අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව 2021 වර්ෂයේ දී නඩු 79,904 ක් දමා ඇත.
2020 වර්ෂයේ දී දමා ඇති නඩු ප්‍රමාණය 66,252 ක් බවත් මෙහිදී අධිවේගී මාර්ගයේ ස්ථාපිත පොලිස් ඒකකවල නිළධාරීන් විසින් අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමණාකරන අංශයේ සහ අධිවේගී මාර්ගවල ස්ථාපිත කර ඇති පොලිස් ඒකකවල නිළධාරින් සමඟ සාකච්ඡාවක් පසුගිය දා මහාමාර්ග අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.