ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුව අත්හිටුවමින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි සිල්වා ගොනුකළ පෙත්සමට ලබා දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව ක්‍රීඩා ඇමතිවරයා විසින් ගොනුකළ මෝසම විභාගයෙන් තුන්වැනි අභියාචනාධිකරණ විනිසුරුවරයාත් අද ඉල්ලා අස් වූයේය.
ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර තිබෙන තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා මෙම මෝසම ක්‍රීඩා ඇමතිවරයා විසින් ගොනු කර තිබිණි.
සිද්ධියට අදාළ පෙත්සම් විභාගයෙන් මුලින්ම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න (නොවැම්බර් 14 වැනිදා) ඉවත් වූයේය. ඊට හේතුව වූයේ ක්‍රීඩා ඇමතිවරයා විසින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මෙම නඩුව විභාග කිරීමට විරෝධතා ගොනු කිරීම නිසාය.
ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා වෙනත් විනිසුරු මඩුල්ලක් වෙත යොමු කිරීමට සභාපති විනිසුරුවරයා විසින් නියෝග කරනු ලැබීය.
ඒ අනුව අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය..
එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ධම්මික ගනේපොල සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවය.
ඒ අනුව අදාළ පෙත්සම විභාගය සඳහා නව විනිසුරු මඩුල්ලක් නම් කිරිම වෙනුවෙන් එය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න වෙත යළි යොමු කෙරුණි.
ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීම සඳහා ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කර බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සඳහන් කළේය.
අද (16) මෙම නඩුව කැඳවනු ලැබුවේ නව විනිසුරු මඩුල්ල ඉදිරියේය.
අද නඩුව කැඳවූ අවස්ථාවේ දී විනිසුරු නීල් ඉද්දවෙල සඳහන් කළේ පුද්ගලික හේතු මත තමා මෙම පෙත්සම සලකා බැලීමෙන් ඉවත් වන බවය.
ඉන් අනතුරුව තුන්වන වරටත් නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අදාළ පෙත්සම යලි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හමුවේ කැඳවනු ලැබුණි.
ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන විනිසුරු මඩුල්ල නම් කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.
අදාළ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් ඉදිරියේ යළි කැඳවනු ලැබුවේ ඒ අනුවය.
අතුරු තහනම් නියොගය දීර්ඝ නොකෙරේ.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ස්වාමීනි… මෙම නඩුකරයට අදාළව අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම අතුරු තහනම් නියෝගය අද දිනෙන් අවසන් වෙනවා. ඒ නිසා මෙම පෙත්සම සලකා බැලීම වෙනත් දිනයකට කල් තබනවා නම් මෙම අතුරු තහනම් නියෝගය දීර්ඝ කරන ලෙස මා ඉල්ලා සිටිනවා.” යනුවෙන් සඳහන් කළේය.
ෙඑම ඉල්ලීමට ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා විසින් ඊට දැඩි විරෝධය පළ කරනු ලැබීය.
“ස්වාමිනි… මෙම නඩුකරයට අදාළ නිවැරදි තොරතුරු වසන් කිරීමකින් තොරව අධිකරණයට ඉදිරිපත් කර තිබුණා නම් අධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරන්නේ නෑ. දැන් මේ පෙත්සම් කැදවනු ලබන්නේ නව විනිසුරු මඩුල්ලක් ඉදිරිපිටයි. අදාළ අතුරු තහනම් නියෝගය අදින් අවසන් වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී දීර්ඝ කිරීමට අතුරු නියෝගයක් අධිකරණය හමුවේ නෑ. නව විනිසුරු මඩුල්ලකට අලුතින් කරුණු සලකා බැලීමෙන් අනතුරුව පමණයි නව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද? නැද්ද? යන කාරණය සම්බන්ධයෙන් තීරණයක් ගත් හැක්කේ” යනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අවධාරණය කළේය.
කෙසේ වෙතත් මෙම පෙත්සම සලකා බැලීම සඳහා නව විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙන බැවින් මෙම අවස්ථාවේදී මතුවී තිබෙන ප්‍රායෝගික අපහසුතාවය යන කරුණ පමණක් සැලකිල්ලට ගෙන පෙත්සම සලකා බැලීමට නියමිත ලබන සදුදා (20) දින තෙක් පමණක් ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කිරීමට අදාළව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා පොරොන්දුවක් ලබා දෙන බවත් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කියා සිටියේය.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබු ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක ද සදහන් කර සිටියේ නව විනිසුරු මඩුල්ලට දැනට නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට හැකියාවක් නොමැති බවය.
ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන සඳුදා කැදවීමට නියම කෙරුණි. බීබීසී –