ඉන්දියාවේදී මිය ගිය බව පැවසෙන මෙරට ප්‍රබල අපරධකරුවකු වන අංගොඩ ලොක්කා හෙවත් ලසන්ත චන්දන පෙරේරාගේ මෘත දේහයේ ඡායාරූප කිහිපයක් මේ වනවිට ඉන්දියාවෙන් ලැබී ඇතත් ඉන්දියානු රජයෙන් හෝ එරට පොලිසියෙන් මෙම අපරාධකරුවාගේ මරණය සම්බන්ධයෙන් නිල තොරතුරු කිසිවක් ලැබී නොමැති බව වාර්තා වේ.
ඉන්දියාවේ කොයිම්බතූර් හි කලක පටන් ජීවත් වූ ඔහු පසුගියදා මිය ගිය බවට තහවුරු නොකළ තොරතුරක් ප්‍රචාරය වූ අතර ඊට දින කිහිපයකට පසුව ඉන්දීය ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලයක් වක ‘නිව් ඉන්දියන් එකස්ප්‍රස්’ වෙබ් අඩවිය එරට පොලිස් බලධාරීන් උපුටා දක්වමින් වාර්තා කළේ ප්‍රදීප් සිං ලෙසින් මිය ගොස් ඇති පුද්ගලයා අංගොඩ ලොක්කා ලෙස පෙනීයන බවයි.
මෙම ඡායාරූප විමර්ශනය කරන නිලධාරීන්ට තවමත් ඒවා නිශ්චිතවම අංගොඩ ලොක්කාගේ සිරුරමද යන්න තහවුරු කර ගැන්මට හැකි වී නැත.
විශේෂයෙන් මෙම මියගොස් සිටින පුද්ගලයාගේ අතේ කොටා ඇති පච්චයෙහි දමිළ අක්ෂර යොදා තිබීම සම්බන්ධයෙන් යම් සැකයක් ඇතිව තිබේ. කෙසේ වුවද ඉන්දියාවේ අංගොඩ ලොක්කා යයි සැක කෙරෙන මිය ගිය තැනැත්තාගේ සිරුරේ කොටස් ඩී.එන්.ඒ පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
එය සංසන්දනයෙන් මෙම පුද්ගලයා නිශ්චිත වශයෙන්ම අංගොඩ ලොක්කාදැයි තහවුරු කර ගත හැකි වනු ඇත. එසේ වුවද තවමත් නිල වශයෙන් මෙම ඩී.එන්.ඒ තොරතුරු සංසන්දයට අදාළ කිසිදු ඉල්ලීමක් ඉන්දීය පාර්ශ්වයෙන් ලැබී නොමැති බව වාර්තා වේ.









