උපේක්ෂා උඩුවැරැල්ල –
දෙනියායම කැළඹී ගොස් තිබිණි. හඳුනා නොගත් රෝගයකින් පාසල් දරු පැටවු එකා පිට එකා ලෙඩින් වැටෙන්නට වූහ. හිටිහැටියේම මතුවන තද උණ සහ දැඩි හිසරදයෙන් සහ වමනයෙන් පෙලුන ඔවුන්ගේ බාහිර තත්ත්වය බලාපොරොත්තු වූවාට වඩා බිය උපදවන සුළු විය. වහාම උන් රෝහල් ගත කෙරිනි.
අප්‍රේල් මස සතිය ඇතුළු පසුගිය සති දෙක තුළ මෙම රෝග ලක්ෂණ සහිත දරුවන් 47 දෙනෙක් දෙණියාය මූලික රෝහලට ඇතුළත් කර තිබිණි. ඔවුහු අවුරුදු 14-15 වයස් කාණ්ඩයේ පසුවූහ. මුල්ම රෝගීන් දෙණියාය රෝහලට ඇතුළත් වන්නේ අප්‍රේල් මාසයේ අගභාගයේදී ය. එතැන් සිට රෝගීන් සිඝ්‍රව වාර්තා වූයේය. මැයි මස 8 වන දින වන විට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 47 දක්වා වර්ධනය වීමත් සමඟ, සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන් මැයි 7 සහ 8 යන දිනවලදී දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් 04ක් වසා දැමීමට කඩිනම් පියවර ගත්තේය.
රෝග විනිශ්ඡය.-
රෝගී දරුවන්ගේ ජෛව සාම්පල රැගෙන කරාපිටිය රෝහල වෙත රෝග විනිශ්ඡය සඳහා විද්‍යාත්මක පරීක්ෂණයන් වෙනුවෙන් යැවිනි. එහිදී අනාවරණය වන්නේ පාසල් දරුවන් අතර පැතිර යන රෝගී තත්ත්වය වෛරස් මෙනින්ජයිටිස් (Viral Meningitis) හෙවත් වෛරස් මෙනින්ගෝ එන්සෙෆලයිටිස් තත්ත්වයක් බවය. කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකළ සාම්පල පරීක්ෂණ මගින් මෙය එන්ටරෝ වෛරස් (Enteroviruses) කාණ්ඩයට අයත් වෛරසයක් බව නිල වශයෙන් තහවුරු වුනේය.

එන්ටරෝ වෛරස් (Enteroviruses) යනු මිනිසාගේ ආහාර මාර්ගය (Gastrointestinal tract) තුළ ප්‍රධාන වශයෙන් ජීවත් වන සහ ගුණනය වන කුඩා වෛරස් කාණ්ඩයකි. මෙම කාණ්ඩයට ඉකො වෛරස් (Echoviruses) සහ කොක්සැකි වෛරස් (Coxsackieviruses) වැනි බහුලව දක්නට ලැබෙන වෛරස් වර්ග රැසක් අයත් වන අතර, ඒවා සාමාන්‍යයෙන් ශරීරගත වන්නේ අපිරිසිදු ජලය හෝ ආහාර හරහා ‘මල-මුඛ’ මාර්ගයෙනි.
මල-මුඛ මාර්ගය (Fecal-oral route) යනු රෝගකාරක වෛරස් හෝ බැක්ටීරියා එක් අයෙකුගෙන් තවත් අයෙකුට සම්ප්‍රේෂණය වන සුවිශේෂී ක්රමයකි. මෙහිදී සිදු වන්නේ ආසාදිත පුද්ගලයෙකුගේ මළද්‍රව්‍යවල අඩංගු වන ඉතා ක්ෂුද්‍ර වෛරස් අංශු, ජලය හෝ ආහාර මූලාශ්‍රවලට මුසු වීමය. පසුව එම අපිරිසිදු වූ ජලය පානය කිරීමෙන් හෝ එම ජලයෙන් සෝදන ලද ආහාර අනුභව කිරීමෙන්, වෛරසය නිරෝගී පුද්ගලයෙකුගේ මුඛය හරහා නැවත සිරුරේ ආහාර මාර්ගයට ඇතුළු වී රෝගය ඇති කරයි. විශේෂයෙන්ම වැසිකිළි භාවිතයෙන් පසු දෑත් නිසි ලෙස සබන් යොදා නොසේදීම සහ ජල මූලාශ්‍රවලට මළ අපද්‍රව්‍ය මුසු වීම මෙම රෝග ව්‍යාප්තිය වේගවත් කිරීමට ප්‍රධාන වශයෙන් බලපායි.
ආසාදනය තහවුරු වීම
රෝග ලක්ෂණ පහළ කරළ දරුවන් 47 අතුරින් දරුවන් 15 දෙනෙකුටම රෝගය වැළඳී ඇති බව ස්ථිර රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු කෙරිනි. මෙම රෝග ව්‍යාප්තිය එක් පාසලකට පමණක් සීමා නොවී, කලාපයේ විවිධ පාසල් කරා විහිදී ගොස් තිබිණි. අද සහ හෙට නිවාඩු දී ඇති පැසල් හතරට අමතරව , තවත් පාසල් කිහිපයකින් ද රෝග ලක්ෂණ සහිත දරුවන් වාර්තා විය. පාසල් පරිශ්‍ර තුළ දරුවන් පොදුවේ ජලය බෙදා ගැනීම සහ සනීපාරක්ෂක පුරුදු අඩුවීම හේතුවෙන් පාසල් වේලාව තුළදී රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බව වෛද්‍යවරු කල්පනා කළහ.

රෝග ලක්ෂණ සහ බරපතලකම
මෙම රෝගය වැළඳුණු විට තද උණ, දැඩි හිසරදය, උගුරේ අමාරුව සහ වමනය වැනි රෝග ලක්ෂණ මතු වේ. මෙය වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක් වුවද, එය මොළය ඉදිමීම හෙවත් ‘එන්සෙෆලයිටිස්’ (Encephalitis) තත්ත්වය දක්වා වර්ධනය නොවන බව වෛද්‍යවරු අවධාරණය කරති. මේ හේතුවෙන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති අතර, රෝගී වන දරුවන් දින 6ක් හෝ 7ක් වැනි කෙටි කාලයකදී පූර්ණ සුවය ලබන බව වාර්තා වේ.
දැනට දෙනියාය මූලික රෝහලෙන් ප්‍රතිකාර ලැබූ රෝගීන් 47ත් 50ත් අතර සංඛ්‍යාවෙන් බහුතරයක් මේ වන විටත් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.
ගෙන ඇති පියවර
රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ පවිත්‍රතා කටයුතු සිදු කිරීම සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මානවඩුගේ උපදෙස් මත දෙනියාය ප්‍රදේශයේ පාසල් හතරක් මැයි 10 සහ 11 යන දිනවල ද වසා තැබීමට පියවර ගැනුණි. ඒ අනුව පසුගිය 07 වැනිදා වසා දැමූ
- දෙනියාය ජාතික පාසල
- දෙනියාය ශාන්ත මැතිව් විද්‍යාලය
- දෙනියාය රාජපක්ෂ විද්‍යාලය
- පල්ලේගම ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රාථමික අංශය අද සහ හෙට දින දෙකේත් වසා දැමෙනු ඇත.
මීට අමතරව, ප්‍රදේශයේ ජල මූලාශ්‍ර පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ කණ්ඩායමක් යොදවා ඇති අතර, මහජනතාවට සනීපාරක්ෂක පුරුදු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක වේ.
සෞඛ්‍ය උපදෙස්
රෝගය පාලනය කිරීම සඳහා පානීය ජලය නටන තුරු උණු කර නිවා පානය කරන ලෙසත්, ආහාර ගැනීමට පෙර සහ වැසිකිළි භාවිතයෙන් පසු දෑත් සබන් යොදා හොඳින් සෝදන ලෙසත් සෞඛ්‍ය බලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.







