බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

71 කැරැල්ලේ “මහා පාවාදෙන්නා“ ලංකාසරට කී කතාව

by editor
අප්‍රේල් 9, 2021
in සමාජ
Share on FacebookShare on Twitter
  • ජ.වි.පෙ.ට සම්බන්ධ කළේ හාමුදුරුනමක්… එතකොට ශ්‍රී ලංකා විද්‍යාලයෙ ඉගෙන ගන්නවා…
  • කැරැල්ලට සම්බන්ධ කරගත්තේ කිසිම දැනුවත් කිරීමක් නොකර… ප්‍රහාරය ගැන තොරතුරු ලැබුණු ගමන් ජේ.ආර්.ට ගිහින් කීවා
  • ඇතුලෙ ඉන්න ගමන් සියලු සැලසුම් ගැන ජේ.ආර්.ව දැනුවත් කළා
  • කැරැල්ල මර්ධනය කළාට පස්සෙ මැතිණිය අරලියගහ මන්දිරයේ කාමරයක් වෙන් කරලා දුන්නා..
  • පොලිසියට බැඳුනෙ ආරක්ෂාවට

ජනතා විමුක්ති පෙරමුණ විසින් රටේ බලය අල්ලන්නට අතීතයේ කැරළි දෙකක් ගැසුවේය. ඒ අතරින් සිය පළමු කැරැල්ල ඔවුන් විසින් දියත්කරන්නේ 1971 වසරේ අප්‍රේල්  05 වෙනිදාය. ජවිපෙ රාජ්‍යයක් ගොඩ නැගීමට ඔවුන් එදා කැරැල්ල සැළසුම් කරන්නේ පොලිස් ස්ථාන 92 කට එකවර ප්‍රහාර එල්ලකර පොලිස් බලය අත්පත්කරගන්නටත් එවකට රජ්‍ය නායිකාව වූ සිරිමාවෝ මැතිණියව ඇය පදිංචිව සිටි රොස්මිඩ් පෙදෙසේ පිහිටි රොස්මිඩ් බංගලාවෙන් පැහැරගෙන සිය ග්‍රහණයට ගන්නටත්ය.

එදා රටේ ජවිපෙ රාජ්‍යයක් ගොඩනැගීම මුළු මනින්ම රඳා පැවතියේ රාජ්‍ය නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාර නායක  පැහැරගැනීමය. ජවිපෙ නායකයින් වැඩි ශක්තියක් යොදවා තිබුණේ ඒ සඳහාය. මැතිණියව පැහැර ගැනීමේ කණ්ඩායමේ සිරී අයියා යැයි එකල හඳුන්වනු ලැබූ පසුකාලයේ ජවිපෙ නායකත්වය දැරූ සෝමවංශ අමරසිංහද සිටියේය. ඔහුට පැවරී තිබුණේ රොස්මිඩ් බංගලාවෙන් පැහැරගන්නා මැතිණියව පැහැරගෙන යන වාහනය පදවන රියදුරා වන්නටය.

මහා පාවාදෙන්නා

මැතිණිය පැහැරගෙන ගොස් රටේ බලය අල්ලන්නට හැදූ ජවිපෙ 71 කැරැල්ල එදා මුළු මනින්ම අසාර්ථක වන්නේ මැතිණිය අල්ලන්නට සිටි කණ්ඩායමේ සිටි පාසල් ශිෂ්‍යයෙක් නිසාය. ඔහු නොවන්නට එදා ජවිපෙ  රට අල්ලා හමාරය. ඇතැම්විට අදටත් බොහෝ විට පවතින්නට ඉඩ තිබුනේ ජවිපෙ ආණ්ඩුවකි. ජනතා විමුක්ති පෙරමුණට අනුව ඔහු මහා පාවා දෙන්නෙකි. 71 කැරැල්ල පාවා දුන් මහා නරුමයා ලෙස ජවිපෙ හදුන්වන්නේ ඔහුය.

ගඩාපි ගේ පාවා දීමෙන් පසු යටත් වූ ජ.වි.පෙ. කැරළිකරුවෙක්…

71 කැරැල්ල පමණක් නොව, පසුකාලයේ ජවිපෙ දියත්කළ දෙවැනි කැරැල්ල පවා මැඩපවත්වන්නට මේ කියන පාසල් ශිෂ්‍යා දැවැන්ත වැඩකොටසක් කර ඇති අයෙකි. ඒ වෙන කිසිවෙක් නොව, එඩිෂන් ගුණතිලකය. එහෙත් මේ නමින් ඔහුව දන්නෝ සිටීනම් ඒ අතලොස්සක් පමණි. ඔහුව රටම දන්නේ ගඩාපි යැයි කීවිටය. එනමින් ඔහු ගැන රටේ නොදන්නෙක් නැති තරම්ය. 71 කැරැල්ලෙන් පසු පොලිස් සේවයට උප පොලිස් පරීක්‍ෂකවරයෙක් ලෙස එක්වන ඔහු දේශපාලන වේදිකාවේ පවා නිරන්තරයෙන් කථාබහට ලක්වුණු චරිතයකි. එමෙන්ම ඔහු  රටේ මහත් ආන්දෝලනාත්මක චරිතයකි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස පොලිස් සේවයෙන් 2011 වසරේ මාර්තු 01 වෙනිදා විශ්‍රාම යන එඩිෂන් ගුණතිලක මේ වන විට සිටින්නේ ජීවිතයේ සැදෑ සමය ගතකරමිණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ගඩාපි ගේ පාසල් ජීවිතය

“ඔය කාලේ මම මරදානේ තියෙන ශ්‍රී  ලංකා විද්‍යාලයේ ශිෂ්‍යයෙක්, ඕඩේ පංසල කියන්නේ ශ්‍රී  ලංකා විද්‍යාලය තිබ්බ පංසලටයි. ඒ වෙනකොට මම එච්.එස්.සී. කරලයි හිටියේ. හැබැයි ප්‍රතිථල ඇවිල් තිබුනේ නැහැ. ඒ නිසා ප්‍රතිඵල එනකම් පාසල් ගියා. දවසක් අපිට උගන්නන්න එන  හාමුදුරු නමක් මගේ ගාවට ඇවිල්ල කියුවා ඔයාල වගේ දඟ කොල්ලෝ ඉන්න ඕනේ ජවිපෙ වගේ තැන්වලයි, අපි සටන්කාමීත්වය අරගෙන රටට වැඩක් කරමු කියල. ඒ කාලේ මම ටිකක් රණ්ඩු සරුවල්වලට බරයි. සටන්කාමීත්වය කියුවම ඒකට පොඩි  ආශාවක් ඇතිවුනා. අනික හාමුදුරුවෝනෙ කියන්නේ ජවිපෙට එකතුවෙන්න කියල. ඒ නිසා මම කැමති වුනා ජවිපෙට එකතුවෙන්න. හැබැයි ජවිපෙ කියන්නේ මොකක්ද කියලවත් හරිහැටි අවබෝධයක් මට තිබුනේ නැහැ.”

එඩිෂම් ගුණතිලක අතීත සමරුවක් සමග

එකල පාසල් ශිෂයෙක්ව සිටියදී එඩිෂන් ගුණතිලක මහා දඩබ්බරයෙකි. ඔහුගේ දඩබ්බරකම් කොතරම්දැයි කිවතොත් පාසල්වලින් පවා ඔහුව නෙරපා තිබුණේය. ශ්‍රී  ලංකා විදයාලයට ඔහු ඇතුළත්වන්නේ ඔහු අධ්‍යාපනය ලද හත්වැනි පාසල ලෙසිණි.

“මගේ ගම කඩවත ගෝනහේනයි. තාත්තා එච්.ඩී. ඩැනියෙල්. තාත්තා සමාජසේවා දෙපාර්තමේන්තුවේ ඕවසියර් කෙනෙක් ලෙසයි වැඩ කලේ. පවුලේ ඔක්කොම සහෝදර සහෝදරියන් එකොලොස් දෙනෙක් හිටියා. සහෝදරයෝ විතරක් හත් දෙනෙක්. මම පවුලේ හත්වෙනියා. 1950 වසරේ ඔක්තෝම්බර් 25 වෙනිදා තමයි මම ඉපදිලා තියෙන්නේ. මුලින්ම මාව ඇතුලත්කරල තිබුනේ කිරිල්ලවල මහා විදයාලයට. එක පාසලක වැඩි කාලයක් මට අධ්‍යාපනය ලබන්න බැරිවුනා. කොල්ලෝ එක්ක රණ්ඩුසරුවල්කරන නිසා ඉස්කෝලවලින් මාව අස්කරනව. ඒ නිසාම ගෙදර අයට සිද්ධ වුනා මාව අස්කරන හැම වාරයකදීම වෙනත් පාසලකට ඇතුළත් කරන්න. බියන්විල මහා විද්‍යාලය, හෝනහේන මහා විදයාලය, හේනේගම මධ්‍ය මහා විද්‍යාලය, දෙල්ගොඩ පිරිවෙන, මරදාන මධ්‍යාමහා විද්‍යාලය (සංඝරාජ විදයාලය) කියන ඔය ඔක්කොම තැන්වලින් අධයාපනය ලබල අන්තිමට තමයි මරදානේ ශ්‍රී  ලංකා විදයාලයට එස්.එස්.සී කරන්න ඇතුළුවුනේ. පස්සේ එච්.එස්.සී ත් කළේ ශ්‍රී  ලංකා විද්‍යාලයෙන්. ශ්‍රී  ලංකා විද්‍යාලයට ඇතුළත්කරන්න ඉස්සරින් මාව ගෙදරින් එක්කරගෙන ගියේ ආනන්ද විදයාලයට ඇතුළත්කරන්නයි. එහිදී ප්‍රශ්නයක් ඇතිවුනා පාසල් ගොඩකින් මාව අස්කරන්න හේතුව ගැන. පාසල් කිහිපයකින්ම මට ඒ තරම් හොඳ අස්වීම් සහතිකයක් ලබාදීල තිබුනේ නැති නිසා ආනන්ද විදයාලයට මාව ඇතුලත්කර ගත්තේ නැහැ.” ඒ අතීතය එඩිෂන් ගුණතිලක මතකයට නගන්නේ එසේය.

හාමුදුරුවන්ගේ ඉල්ලීම

එකල එඩිෂන් ගුණතිලක ගෝනහේනේ සිට පාසල් එන්නේ බස් රථයෙනි. කොළඹට එකල බස් ගාස්තුව සත 15 කි. උදේ හවා කොළඹ ආවෙ ගියේ තනිවමය. නිවැසියන්ටද මහා වදකාරයෙක් වූ එඩිෂන් ගුණතිලක ගැන පවුලේ අය පවා එකල වැඩි සොයා බැලිල්ලක් කරන්නට   නොගියේය. ජවිපෙට එකතුවීමට ඔහුට පිරිවෙනේ තරුණ ආචාර්ය හිමිනමකගෙන් ඇරයුම් ලැබෙන්නේ එකලය.

“හාමුදුරුවන්ගේ කීමටයි මම ජවිපෙට එකතුවුනේ. ඒත් මට ජවිපෙ පූර්ණ කාලීන සාමාජිකයෙක් වෙන්න අවස්ථාවක් තබා පංතිවලට සහභාගිවෙන්නත් අවස්ථාවක් ලැබුනේ නැහැ. දවසක් හාමුදුරුවෝ මාව එක්කරගෙන ගියා කැලණියේ පැත්තේ පන්සලකට. එතැන ජේවීපීයේ තැනක්. හත්අට දෙනෙක්ම හිටියා. මම විතරයි ශ්‍රී  ලංකා විද්‍යාලයෙන් එතැනට ගිහින් හිටියේ. හිටපු හැමෝම තරුණයෝ. ඒ අයට හාමුදුරුවෝ මාව හඳුන්නල දුන්න. දෙක තුනකට පස්සේ කැලණියේ පන්සලේදි හඳුන ගත්ත අයෙක් මාව හොයාගෙන ශ්‍රී  ලංකා විද්‍යාලයට ආවා. එයා කීවා දැන් පන්ති පවත්ව පවත්ව ඉන්න කාලයක් නැහැ. එකපාරටම තීරණය කළා ගහන්න කියල. මට එයා කියුවා තියෙනවනම් මුදල් එහෙමත් අරගෙන පහුවෙනිදා උදේ අට වෙනකොට එන්න කියල.”

මේ සිදුවීම් පෙළට අදාල දින වකවානු එඩිෂන් ගුණතිලකට හරියටම මතකයේ නැතත් යාන්තමට ඔහුගේ මතකයේ ඇති ආකාරයට ඒ 71 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනිදා හෝ තුන්වැනිදා යන දින වලින් එක් දිනකි.

යටත් වූ කැරළිකරුවන්…

විද්‍යායෝදය සරසවියේ සංඝාරාමයට රැස්වු ජවිපෙ දේශපාලන මණ්ඩලයේ නම දෙනා එදා කැරැල්ල දියත්කරමින් පහරදෙන්නට තීරණය කරන්නේ අප්‍රේල් 02 වෙනිදාය. පියතිලක , ලයනල් බෝපගේ, ජයදේව උයන්ගොඩ, රංජිත් කුරුකුලසූරිය, සුනන්ද මහේන්ද්‍ර, සුසිල් වික්‍රම යන හය දෙනා පහරදීමකට පක්‍ෂවත් සනත් , කරුණාරත්න සහ ලොකු අතුල, පහරදීමකට විරුද්දවත් සිය මත ප්‍රකාශ කළත් අවසානයේදි බහුතර මතයට අනුව තීරණය කරන්නේ පහරදී ජවිපෙ ආණ්ඩුවක් කැරැලකින් බිහිකරන්නටය. පෙනී යන ආකාරයට අනුව එඩිෂන් ගුණතිලකට ජවිපෙ පන්තිවලට සහභාගිවීමට තිබුණු අවස්ථාව අහිමි වන්නේ ඒත් එක්කමය.

ජේ.ආර්.ට කී කේලම

“එදා මට ඒ ගැන සැකයක් ඇතිවුනා. දන්න කාටහරි මේ ගැන කියන්න ඕනේ කියල හිතුනා. මතකයට එකවරම ආවේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාව. ඒකාලේ ජේ.ආර්.ජයවර්ධන මහත්තයා විපක්‍ෂ නායකයා. මම එතුමාව හොඳට දන්නව. ඡන්දෙ කාලෙට අපේ ගෙදර එනවා. අපේ තාත්තත් එක්කයි දේශපාලනේ කලේ. අපිවත් හොඳට දන්නවා. මාස හයකට අවුරුද්දකට වරක් ජේ.ආර්.ජයවර්ධන මහත්තයාව බලන්න ගෙදර පවා අපි යනව. අනික   ඔය කාලේ මහරයි කැලණියෙයි එජාප තරුණ සංවිධායක වෙලා හිටියෙත් මමනේ. ඒ නිසා මාව නමින්ම ජේ.ආර්.ජයවර්ධන මහත්තයා දන්නව. ඒ ගැන හාමුදුරුවොත් දැනගෙනයි හිටියේ.”

ඒ අනුව පාසල් විවේක සීනුව නාදවනවාත් සමග පාසලින් පණින ඔහු  කෙලින්ම දිව යන්නේ බොරැල්ලේ වෝර්ඩ් පෙදෙසේ පිහිටි ජේ.ආර්.ජයවර්ධනයන්ගේ නිවසටය. එකල ජේ.ආර්.ජයවර්ධනයන්ගේ ලේකම්වරයා ලෙස කටයුතුකර ඇත්තේ පසුකාලයේ ලුණු සංස්ථාවේ සභාපතිධුරය   දරා ඇති එදිරිසිංහ නම් වූ නිලධරියෙකි.

“මම ජේ.ආර්.ජයවර්ධන මහත්තයාගේ බංගලාවට ගිහින් එදිරිසිංහට කියුවා මහත්තයාව හම්බවෙන්න ඕනේ කියල. එයත් මාව දන්න නිසා මම ඇවිල් ඉන්නව කියල ජේ.ආර්.ජයවර්ධන මහත්තයට කියුවා. ඒ එක්කම ගේ ඇතුලේ ඉඳන් එතුමා එළියට ආවා.  මම සියළු විස්තරේම එතුමට කියුවා. ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙච්ච රජයක් බලහත්කාරයෙන් ගන්න කිසිවෙකුට ඉඩදෙන්න බැහැ කියල ඒත් එක්කම එතුමා කියුවා. දරුවෝ බය නැතිව යන්න පොලිසියට හැම දෙයක්ම කියන්න කියල මට කියුවා. එතුමත් පොලිසියට මේ ගැන දන්වනව කියලත් කියුවා. “

“ඒත් එක්කම එතුමා මට කියුවා දරුවෝ ඔයා තව තොරතුරු සොයා ගන්න. වෙන්නේ මොනවද කියල මටත් කියන්න. බය නැතිව හැම දෙයක්ම සොයා ගන්න. කියලත් කියුවා. ඒත් එක්කම මගේ හිතටත් අමුතු ශක්තියක් ආවා. මේ වෙන්නේ මොනවද කියල හොයන්න.”

විවේකය අවසන් වීමට මත්තෙන් නැවතත් පාසලට පැමිණෙන එඩිෂන් ගුණතිලක කල්පනා කරන්නේ දැන් තමන්ට කරන්නට ඇත්තේ කුමක්දැයි කියාය.

“පහුවෙනිදා උදේ එන්න කියුවේ වික්ටෝරියා පාක් එකට. ගෙනියන්න තරම් සල්ලි මාගාව තිබුනේ නැහැ. මම කල්පනා කළා මොනවද දැන් කරන්නේ කියල. මට හිතුනා මේ ගැන පොලිසියට ගිහින් කියන්න. ඉස්කෝලෙ ඇරිල මම ගියා මරදාන පොලිසියට. රිසව් එකේ හිටපු රාළහාමි අමුතු ලෙවල් එකකයි හිටියේ. මට ඕ.අයි.සී. ගාවට යන්න දුන්නේ නැහැ. ඔය වෙලාවේ පොලිසියේ හිටපු අයි.පී කෙනෙක් මගෙත් එක්ක හිනා වුනා. මම එයා ගාවට ගියා. එයා මට කියුවා වාඩිවෙන්න දරුවෝ කියල. ඉතින් මම විස්තරේ එයාට කියුවා. ඒ මහත්තයා දෙමළ කෙනෙක්. සෙල්වදොරේ කියල. කථාව ඇහුවම ඒකේ බරපතල කම දැනගත්ත එයා මාව කෙලින්ම එක්කරගෙන ගියා ඇචිලන් ටෙරස්වල තියෙන පොලිස් කාර්යාලයට. ඒ.එස්.පී කොන්වන් වීරසිංහට මාව මුණ ගැස්සුවා. විස්තරේ අහල ඒ.එස්.පී. කොන්වන් වීරසිංහ මට කියුවා  කිසිදේකට බයවෙන්න එපා. අපි ඔයාට සල්ලි දෙන්නම්… සල්ලිත් අරගෙන ඔයා හෙට වික්ටෝරියා පාක් එකට ගිහින් හැම දෙයක්ම දැනගෙන කියන්න කියල.”

පාසල් නිමවී නිවසට යනවා වෙනුවට පොලිසියට ගිය එඩිෂන් ගුණතිලක පොලිසියේ සිට කෙලින්ම යන්නේ වෝඩ් ප්ලේස් හී ජේ.ආර්. ජයවර්ධනගේ නිවසටය. ඒ පොලිසියේදි සිදුවූයේ කුමක්දැයි කියන්නටය.

“දරුවෝ තියෙන තොරතුරු සේරම පොලිසියට කියන්න. කිසි දේකට බය වෙන්න එපා.”ජේ.ආර්.ජයවර්ධනයන්ගෙන් එහිදී ඔහුට ලැබෙන්නේ එවන් ප්‍රතිචාරයක්ය.

ඔත්තුකරුවාගේ රාජකාරිය

“පහුවෙනිදා උදේ මම මරදාන පොලිසියට එනකොට සී.අයි.ඩී. කට්ටුයකුත් ඇවිල්ලයි හිටියේ. සරමයි කෝට් එකකුයි ඇදගෙනත් එක් නිලදාරියෙක් හිටියා. එයා දිසානායක කියල සාජන් කෙනෙක්. වික්ටෝරියා පාක් එකට මට යන්න වුනේ එයත් එක්කයි. මගේ අතට රුපියල් දාහකුත් ලැබුනා. මම ඒකත් සාක්කුවේ දාගෙන සාජන් දිසානායකත් එක්ක වික්ටෝරියා පාක් එකට ගියා. ජේ.වී.පී එකේ විස්සක් තිහක් විතර එතැනට ඇවිල්ල හිටියා. “

“හැබැයි රැස්වීම පටන්ගන්න කලින් කලබලයක් ඇතිවුනා. පොලිසිය අපිව වටකරල කියල කෙනෙක් කෑගැහුවා. හැමෝම දුවන්න ගත්ත. මාත් එක්කෙනෙක්ගේ පස්සෙන් දුවන්න ගත්ත. කැම්බල් පාක් එක මැදින් ඇවිත් වනාතමුල්ලටයි එයා ආවේ. මම එයාගේ පස්සෙන්ම හිටියා. මට හිතෙන්නේ එදා අප්‍රේල් 03 වෙනිදා කියලයි. එයා මාවත් අරගෙන ගියේ වනාතමුල්ලේ ගෙදරකටයි. ඒ ගෙදර කවුරුත් හිටියේ නැහැ. පස්සේ රේල්පාර දිගේ එයාගේ පස්සෙන්ම මම ගියා. එයාව මම අතෑරියෙම නැහැ. බොරැල්ල ටවුමට ආවා. එයා කියුවා බඩු වගයක් ගන්න ඕනේ කියල. “

“ඒ වෙලාවේ මගේ අතේ තිබ්බ දාහෙන් පන්සීයක් එයාට දුන්න.  පෙට්රල්, ඩීසල් ඇතුළු බඩු වගයක් ඒකෙන් එයා අරගත්ත. මට කියුවා හවස 5.30 ට මරදාන පොලිසිය ඉස්සරහා තියෙන මුස්ලිම් හෝටලය ගාවදී හම්බවෙන්න. අද ගෙදර යන්න එපා කියල. මම කෙලින්ම මරදාන පොලිසියට ඇවිත් ඒ ගැන සෙල්ව‍දොරේ මහත්තයට කිව්වා. පස්සේ එයාට කියල ජේ.ආර්.ජයවර්ධන මහත්තයටත් කෝල් එකක් අරගෙන සියළු දේවල් ගැන දැනුවත් කළා. “

“මට ගෙදර නොයා ඉන්න විදිහක් නැහැ. ගෙදර අය බයවෙන්න පුළුවන්. ඒ නිසා මම ඒ ගැනත් ජේ.ආර්.ජයවර්ධන මහත්තයට කිව්වා. එතුමාගේ උපදෙස් මත පොලිසියෙන් කෙනෙක් එදා අපේ ගෙදරට ගිහින් ලොකු අයියට කියල තිබ්බ මම එදා ගෙදර එන්නේ නැති බව. ඒ වෙන කොට මගේ තාත්ත ජීවතුන් අතර හිටියේ නැහැ. ලොකු අයිය තමයි අපි ගැන හොයල බැලුවේ. පස්සේ මාව ඒ.එස්.පී කොන්වට් වීරසිංහ පොලිස්පතිගාවට එක්කරගෙන ගියා. ඒත් එතුමා ඒ වෙලාවේ ඔෆිස් එකේ හිටියේ නැහැ. ඒ කාලේ පොලිස්පතිලෙස සිටියේ රොසි සේනානායක මහත්මියගේ මාමණ්ඩි  ස්ටැන්ලි සේනානායක මහත්මයායි. හැබැයි විස්තරේ එයාට කෝල් කරල ඒ.එස්.පී වීරසිංහ කිව්වා.”

ඒ වන විටත් මේ සිදුවන්නේ කුමක්දැයි පැහැදිලි අවබෝධයක් එඩිෂන් ගුණතිලකට නොවීය. අඩුම තරමේ පහරදෙන්නේ කාටදැයිවත් ඔහු දැන සිටියේද නැත. පොලිසියට පවා අවශ්‍ය වන්නේ ඒ ගැන එඩිෂන් ගුණතිලක මගින් දැනගන්නටය. මරදාන පොලිසිය ඉදිරිපිට ඇති මුස්ලිම් හෝටලය ඉදිරිපිටදී මුණ ගැසෙන්නැයි ඔහුට බොරැල්ලේදි කියන්නේ ජවිපෙ කොළඹ නායකයා වන පියතිලක බව පවා ඔහු දැන සිටියේ නැත. ජවිපෙ දේශපාලන මණ්ඩලයේද පියතිලක ඒවන විට සිටි ප්‍රබලයෙකි. පහරදීමකින් රට අල්ලන්නට පක්‍ෂව සිටි හය දෙනා අතරද පියතිලක සිටියේය.

රහස් කාමරයේ බෝම්බ ගබඩාව

“හරියටම එදා හවස 5.30 වන විට පියතිලක පොලිසිය ඉස්සරහා හෝටලය ගාවට ආවා. එයා මාවත් එක්කරගෙන ගියේ කොටහේනෙ තට්ටු දෙකේ ගෙදරකට.  ඒ ගේ ඇතුළට ගිහින් බිත්තියට හේතුතුකරල තිබ්බ ලීයක් අරගෙන පියතිලක ඒකෙන් සොල්දරේට තට්ටුවක් දැම්ම. ඒත් එක්කම සොල්දරේ තිබ්බ ‍දොරක් ඇරල පල්ලෙහාට ඉණිමගක් දැම්මා. අපි දෙන්න ඒකෙන් උඩ තට්ටුවට නැග්ගා. ඒක පොඩි කාමරයක්. ඇඳන් තුනක් තිබුනා. ඇඳන් පිරෙන්න තිබ්බේ බෝම්බ අතුරල. ඒවා කොරියන් බෝම්බ. පත්තුකරල විසිකරන ජාතියේ ඒවා. ඒ වෙලාවේ මම ඒ කිසිවක් දැනන් හිටියේ නැහැ. පස්සෙ තමයි දැන ගන්නේ ඒවා බෝම්බ කියල. “

“ඒ වෙනකොට එතැන සෝමවංශ අමරසිංහත් ඉඳල තියෙනව.  ඒ කාලේ එයාට කියල තියෙන්නේ සිරී අයිය කියල. එතැන හය හත් දෙනෙක්ම හිටියා. පියතිලකගෙන් එක් කෙනෙක් ඇහුවා මම කවුද කියල. එතකොට පියතිලක කිව්ව බයවෙන්න දෙයක් නැහැ අපේ අයෙක් කියල. ලොකු අතුල මගේ අම්මගේ පැත්තෙන් ඉතා ලඟ ඥාතියෙක්. ඒ නිසා ඒ අයට මා ගැන දැඩි විශ්වාසයක් තියෙන්නත් ඇති කියල හිතෙනව.  ඒ වෙලාවේ එයාල කතා උනා එදා රෑ 11.00 රොසිමිඩ් ප්ලේස් එකට පහරදීල සිරිමාවෝ මැතිණිය පැහැර ගන්න එක ගැන. එතුමියගේ ආරක්‍ෂාවට ඉන්න පොලිසියෙයි හමුදාවෙයි අයගෙන් බයවෙන්න දෙයක් නැහැ, ඒ අය අපිට සහයෝගය දෙනවා කියලත් කිව්වා. ඔයාල ගහගෙන ඇතුළට යන කොට පොලිසියයි හමුදාවයි එතැනින් ඉවත්වෙන බවත් කිව්වා.“

“අපේ සහයට බොරැල්ල ලිඩෝ එක ගාවින් තවත් කට්ටියක් එකතුවෙන බවකුත් කීවා. මම මේ ඔක්කකොම අහගෙන හිටිය. මට ඒ වෙලාවේ ලොකු බයක් ඇතිවුනා. මේ සූදානම් වෙන්නේ රටේ නායිකාව අල්ලන්න නේද කියල. හැබැයි මම බය පෙන්නුවේ නැහැ. එන දේකට එයාලත් එක්ක ඉන්න බවක් පෙන්නුවා.”

මේ සියළු කථාබහ සිදුවන්නේ ගමන් මළු කිහිපයකට ඇදන්  මත ඇති බෝම්බ අසුරමිණි. එම බෝම්බ පත්තුකරන්නට ඒ වන විට ඔවුන් කොරියන් ලයිටර් තොගයක්ද   එහි ගෙනවිත් තිබුණේය. එම ලයිටර්ද බෝම්බ සමග එම බෑග්වලට ඇසුරුවේය. ඒ එක් ලයිටරයක් හොර රහසේ සිය කලිසම් සාක්කුවට එඩිෂන් ගුණතිලක දමාගන්නේ පොලිසියට එය සාක්‍ෂියක් ලෙස පෙන්වීමටය. ඊට අමතරව එහි ඇසුම්වල ගසා ගැනීමට තරු තොගයක්ද ගෙනවිත් තිබුනේය. ඒ විප්ලවයේ සාමාජිකයන් හදුනා ගැනීමේ සලකුණක් ලෙසිණි. ඒ තරුකිහිපයක්ද එඩිෂන් ඒ තැනින් සොරාගත්තේය.

“බෝම්බ පුරවපු සූට්කේස් දෙකක් පියතිලක මගේ අතට දුන්නා. එයා බෝම්බයක් අතට අරගෙන කිව්වා හදිසියේවත් පොලිසියට අපිව අහුවුනොත් මම පොලිසියට බෝම්බය ගහනවා ඔයා පැනගන්න කියල. මම ඒ වෙලාවේ එයාට කිව්වා, ඒක හරියන්නේ නැහැ. මට බෝමබෙ දෙන්න, මම පොලිසියට බෝම්බෙ ගහන්නම් , ඔයා පැනල යන්න. ඔයා පොලිසියට අසු වුනොත් විප්ලවයට ලොකු පාඩුවක් වෙන්නේ කියල. මා ගැන එයාට තවත් පැහැදුනා. අපි දෙන්න කොටහේනේ ගෙදරින් එළියට එනවාත එක්කම පොලිස් බයික් එකක් පාරේ එනවා. මම බයිසිකලේට පැන්න. මට ඕනේ වුනේ එතැනින් හිමිහිට පැනල පොලිසියට හැම දෙයක්ම කියන්න. ඒත් බයිසිකලේ නැවැත්තුවේ නැහැ. කඩාගෙන ගියා. “

කැරැල්ලේ සැලසුම හෙළි කිරීම

අපි කොටහේනෙන් ටැක්සියක නැගල මරදානෙට ආවා. මරදානේ සෙන්ට්‍රල් (මරදාන මධ්‍ය මහා විද්‍යාලය) එකේ කට්ටිය ඉන්නව කියල පියතිලක කිව්වා. හැබැයි ඇතුලට ගියොත් ආයිමත් එළියට එන්න දෙන්නේ නැති බවත් ඔහු කිව්ව. මට තේරුනා ඇතුළට ගියොත් වැඩේ එහෙම් පිටින්ම අවුල් වෙනව කියල. මම පියතිලකට කිව්වා මගේ බඩු වගයකුයි සල්ලි ටිකකුයි  මරදානෙ තැනක තියෙනව, මම ඒකත් අරගෙනම එන්නම් කියල. පියතිලකට මා ගැන සැකයක් තිබුනේ නැහැ. එයා කිව්වා ඉක්මන එන්න කියල.” එසේ උපක්‍රමශීලීව පියතිලකගෙන් පැනගත් එඩිෂන් ගුණතිලක කෙලින්ම යන්නේ මරදාන පොලිසිය ඉදිරිපිට ඇති හෝටලයටය. එම හෝටලයේ තිබුණු දුරකථනයෙන් ඔහු ඇමතුමක් ගන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතාටය.

“එතුමා කියුවා අදාල තැන්වලට මේ ගැන දැනුවත් කරන්නම් ඔයා මරදාන පොලිසියට යන්න කියල. මම මරදාන පොලිසියට යනවත් එක්කම සී.අයි.ඩී එකේ ඒ එස්.පී , කේ.එච්. ද සිල්වා කණ්ඩායමක් එක්ක ඇවිල්ල හිටිය. එයා මාව කාර් එකේ දාගෙන පොලිස් මූලස්ථානයට එක්කරගෙන ගියාපොලිස්පතිවරයාට කථාකරන්න ඕනේ කියල. එතකොට වෙලාව රෑ අටට විතර ඇති. දැන් මාව ගැහෙනව. මේ විස්තරේ කියනකම් ඉස්පාසුවක් නැහැ.. කාර් එක මූලස්ථානයෙන් නවත්තල ඒ.එස්.පී. සිල්වා මාව උඩ තට්ටුවට එක්කරගෙන යන කොට මම පඩිපෙලේ දුවගෙන උඩට දුවගෙන ගියා. ඒ වෙලාවේ පොලිස්පති ස්ටැන්ලි සේනානායක හිටියේ කම්පරන්ස් එකක. මම කඩාගෙන ඇතුළට ගියත් එක්කම එතැන හිටපු අය මාව උත්සල අරගෙන බිම පෙරල ගත්ත. ඒ වෙලාවේ ඒ.එස්.පී සිල්වා පොලිස්පතිට කිව්වා මේ අහවලා කියල. එතකොට පොලිස්පතිවරයා මගෙන් විස්තර ඇහුවා. මම හැම දෙයක්ම කියල ලයිටරෙයි , තරුයි පෙන්නුවා. “

“ඒත් එක්කම එයා මාව එයාගේ කාර් එකට දාගෙන කෙලින්ම ගියා අරලිය ගහ මන්දිරයට. ඒ යන කොට මැතිණිය එතැන නැහැ. රොස්මිඩ් ප්ලේස් එකේ හිටියේ. පොලිස්පතිවරයා මැතිණියට කෝල් එකක් දුන්නා. වැඩි වේලාවක් යන්න ඉස්සරින් එතුමිය අරලිය ගහමන්දිරයට ආවා. ඒත් එක්කම විලියම් ගොපල්ලව ජනාධිපතිතුමත් ආවා. මගෙන් විස්තර ඇහුවා. සියලු විස්තර මම ඒ අයට කිව්ව. අද රෑ 11.00 රොස්මිඩ් ප්ලේස් එකට පහරදෙන බව මම කිව්වා. ඒත් එක්කම හමුදාවයි පොලිසියයි කොටහේනේ ගෙදරටයි, මරදානේ සෙන්ට්‍රල් එකටයි ගිහින් ඇවිත් කිව්වා ඒ තැන්වල මුකුත් නැහැ කියල. මට තේරුණා මොකක් හෝ වැරැද්දක් වෙලා තියෙනව කියල. ඒ නිසා මම ඒ අයට කිව්වා මමත් එන්නම් යමු කියල. ඒ වෙලාවේ මට පොලිස් යුනිෆෝම් එකක් අන්දල මාව ඒ තැන්වලට එක්කරගෙන ගියා. මරදානේ සෙන්ට්‍රල් එකේ නැහැ කියපු බෝම්බ හම්බවුනා. බොරැල්ලේ ලිඩෝ එක ගාවදී පිරිසක් ඇල්ලුවා. පාන්දර පහ වෙනකොට ඔක්කොම ඉවරයි. ගොඩක් අය අල්ගෙන හිටියා. ආයුධ පවා සොයාගත්ත. ඒ අයව හඳුන ගන්න ගියේ මම. පොලිස් ඇදුමිනුයි ඒ තැන්වලට මාව අරගෙන ගියේ. එදා ඒ අය අතර පියතිලකත් හිටිය. සෝමවංශ හිටිය කියලා මම පස්සේ කාලෙක දැනගත්ත. පියතිලක දැන් මහණවෙලා ඉන්නව කියලයි දැන ගන්න තියෙන්නේ.”

ආරක්ෂාවට පොලිසියට බැඳීම

එඩිෂන් ගුණතිලකගේ ක්‍රියාකලාපය හමුවේ එදා ජනතා විමුක්ති පෙරමුණේ කුළුදුල් කැරැල්ල අසාර්ථක වන විට මැතිණිය ඔහුගේ ආරක්‍ෂාව ගැන කොතරම් විමසිලිමත්වූයේද කිවතොත් අරලිය ගහ මන්දිරයේ කාමරයක් පවා ඔහුට නවාතැන් ගැනීමට වෙන්කර තිබුනාය.

“මැතිණිය මගේ ආරක්‍ෂාව ගැන එදා දැඩි උනන්දුවකිනුයි හිටියේ. මගෙන් ඇහුවා මොනවද අපෙන් ඕනේ කියල. ආරක්‍ෂාවට රට යවන්නද කියලත් ඇහුවා. ඒත් මගේ කැමැත්තක් තිබුනේ නැහැ රට යන්න. ඒ නිසා මම එතුමියට කිව්වා ලංකාවෙම ඉන්නව කියල. පස්සේ මාව නාරාහේන්පිට පොලිස් බැරැක්කේ මාස තුන හතරක් තියාගෙන හිටිය. ඔය කාලේ සී.අයි.ඩී.යෙන් මට තෑග්ගක් ලෙස රුපියල් ලක්‍ෂයක් දෙන්න හැදුවා. මම ඒක ප්‍රතික්‍ෂේපකලා. මම කියුවා මම වැඩ කලේ සල්ලි බලාගෙන නෙමෙයි රට ජාතිය බේරගන්නයි කියල. පොලිස්පති ස්ටැන්ලි සේනානායකගේ සහෝදරයෙක් ඔය කාලේ හිටිය බුද්ධි අංශයේ. එතුමට කීවේ බෝධිසත්ව කියල. එයා මට කිව්ව ඔයාගේ ආරක්‍ෂාවටත් එක්ක පොලිසියට බැඳෙන්න කියල.

පොලිසියට බැදෙන්න මටත් පොඩි ආශාවක් තිබුනා. ඒ නිසා එස් අයි කෙනෙක් විදිහට බැඳෙන්න ඉන්ටර්විව් ගියා. මාව උඩින්ම තේරුණත් දේශපාලනේ හරස් වෙලා මාව කැපුවා. මම යූ.එන්.පී. කාරයෙක් කියල මගේ නම කැපුවේ එස්.ඒ.කේ. සූරියආරච්චි මන්ත්‍රිවරයා. මම ජේ.ආර්. ජයවර්ධන මහත්තයට මේ ගැන කිව්වා. එතුමා මට කිව්වා ඒ ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් ගේනව කියල. ඒත් එක්කම එතුමා මැතිණියට මේ ගැන කියල තිබුනා. සූරියආරච්චිට ඕනේ දේවල් මේ ආණ්ඩුව කරන්නේ නැහැ. ඒ ළමයව මම පොලිසියට ගන්නව කියල මැතිණිය ඒ වෙලාවෙ කියල තිබුනා.”

එඩිෂන් ගුණතිලක උප පොලිස් පරීක්‍ෂකවරයෙක් ලෙස පොලිසියට එක්වන්නේ ඒ අනුවය. ඒ 1972 වසරේ නොවැම්බර් 02 දාය. එදා ඔහු පොලිසියට එක්කර ගත්තත් පොලිස් පුහුණුව ලබන්නට ඔහුට ඉඩ ලබෙන්නේ වසරකට පසුවය. එතෙක් ඔහුට සිදුවන්නේ නාරාහේන්පිට පිහිටි පොලිස් ගරාජයේ රැඳී සිටින්නටය. හිටපු ඇමතිවරයෙක් වන එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, අල්ලස් කොමසාරිස්වරයෙක් වන නෙවිල් ගුරුගේ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණි සිල්වා එදා ඔහු සමග පොලිස් පුහුණුව ලැබූවන් අතර සිටි අයයි.

එඩිෂන් ගුණතිලකට මුල්ම පත්වීම ලැබෙන්නේ රඹුක්කනටය. ඒ පොලිස් වැඩ ඉගෙන ගන්නටය. එකල රඹුක්කන පරපෙ කන්ද ප්‍රදේශයට පොලිසිය අඩිය තබන්නේ නැති තරම්ය. ජනතා විමුක්ති පෙරමුනේ මහා බලකණු කිහිපයක්ම එකල ජීවත්වුනේ එම ප්‍රදේශයේය. නාහට නාහන චරිතයක් වූ එඩිෂන් ගුණතිලක පරපෙට ගොස් වැඩ පෙන්නුවේය. දඩබ්බර මේ තරුණ පොලිස් නිලධාරියා වැඩි කල් නොගොස් කැපී පෙනෙන චරිතයක් බවට පත්වූවේය.

ගඩාපි යැයි ඔහුට කියන්නට මිනිසුන් පටන් ගන්නේ ඒත් එක්කමය. එම නම ඔහුට පටබැදෙන්නේ 1976 වසරේ නොවැම්බර් 16 වෙනිදා මෙරට පැවැති නොබැදි ජාතීන්ගේ සමුළුවට සහභාගිවීමට ලිබියාවේ ජනාධිපති ගඩාපි ගේ පැමිණිමත් සමගිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රණවිරුපවුල්වල විසඳුම කැබිනට්ටුවේ

Next Post

අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දෙයි

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.