බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ලෝකයේ බිහිසුණුම අපරාධ කල්ලි නායකයා “එල් මෙන්චෝ” ඝාතනය කළ මෙහෙයුමේ සම්පූර්ණ කතාව…

by editor
පෙබරවාරි 23, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

කපිල කේ. හීනටියන –

ලෝකයේ බිහිසුනුම පාතාල අපරාධ කල්ලිය නිර්මාණය කරමින් මෙක්සිකෝවේ සිට ලෝකයම විකල් කළ බිහිසුණු අපරාධ කල්ලි නායකයා “එල් මෙන්චෝ” (El Mencho) ඝාතනය කිරීමට ඊයේ (22) මෙක්සිකානු බුද්ධි අංශ සමත්  වූයේය.

එල් මෙන්චෝ ලෙස ප්‍රකටව සිටියේ  එල් මෙන්චෝ  රුබෙන් ඔසෙගුවේරා සර්වාන්ටේස් (Nemesio Rubén Oseguera Cervantes) නැමැති අපරාධකල්ලි නායකයා ය.     59 හැවිරිදි වියේ පසු වූ ඔහු මෙක්සිකෝවේ සිට ක්‍රියාත්මක වුන ලොව දරුණුතම අපරාධ කල්ලියක් වන ජලිස්කෝ නිව් ජෙනරේෂන් කාටලයෙහි (CJNG) නායකයා විය.

ඔහු ඝාතනය  වන්නේ මැක්සිකෝවේ කඳුකර දුර්ගයක සිය ආරක්ෂිත භූමිය තුළ දීය. මෙම ස්ථානය පිහිටා තිබුණේ මෙක්සිකෝවේ ජාලිස්කෝ ප්‍රාන්තයේ දකුණු පසින් පිහිටි ටැපල්පාහි දුර්ගයකය. මෙහිදී හමුදාව සහ එල් මෙන්චෝ ගේ ආරක්ෂකයින් අතර සිදුවූ ධරුණු වෙඩි හුවමාරුවකින් අනතුරුව වෙඩි වැදුන එල් මෙන්චෝ මෙක්සිකෝවේ සජීවී අගනුවරවන Mexico City වෙත ගුවනින් රැගෙන එද්දී මිය ගියේය.

ඔහුගේ අභාවය ලොව අතිශය කුරිරු අපරාධ සංවිධානයක එක් යුගයක අවසානය සනිටුහන් කළ බව බැලූ බැල්මට පෙනේ. එහෙත් මේ සමගම විතැන්වන මෙක්සිකානු පාතාලය තුළ ඇති විය හැකි බල අරගල හේතුවෙන් ප්‍රචණ්ඩත්වය තවදුරටත් උත්සන්න වීමේ අවදානමක් තිබේ. ග්‍රාමීය දිළිඳුකමේ සිට මත්ද්‍රව්‍ය, කප්පම් ගැනීම් සහ භීෂණය මත ගොඩනැඟුණු ගෝලීය අධිරාජ්‍යයක් මෙහෙයවූ මිනිසෙකුගේ ජීවිත කතාව මෙසේ දිග හැරේ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මිචෝකාන් හි ගත  “එල් මෙන්චෝ”ගේ ළමා කාලය

නෙමේසියෝ ඔසෙගුවේරා සර්වාන්ටේස් හෙවත් එල් මෙන්චෝ 1966 ජූලි 17 වන දින මිචෝකාන් ප්‍රාන්තයේ අගුයිලිලා හි නරන්ජෝ ද චිලා නම් ග්‍රාමීය ප්‍රජාවක උපත ලැබීය. නරන්ජෝ ද චිලා යනු මෙක්සිකෝවේ අතිශය දුෂ්කර පළාතකි. දුගීකම මේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත උරුමයක් වී තිබිණි.  එල් මෙන්චෝ ගේ  දෙමව්පියන් අන්ත දිළිඳු ගොවීන් වූ අතර, ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය වූයේ අලිගැටපේර වගාවය.

සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් පවුලේ නඩත්තුව සඳහා කුඩා එල් මෙන්චෝ ට වයස අවුරුදු 10 දී පමණ පාසල් ගමන නතර කිරීමට සිදු විය. සුන්දර ළමා කාලයක් වෙනුවට ඔහුට හිමිවූයේ දැඩි හිරු රශ්මිය යටතේ අලිගැටපේර වතුවල කුලී වැඩ කිරීමය. කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට සීමිත අවස්ථාවන් සහිත මෙම හුදකලා ප්‍රදේශයේ ජීවිතය භූ ගත කළ එකක් වූයේය.

මිචෝකාන් හි සාරවත් පසෙහි අලිගැටපේර පමණක් නොව ගංජා සහ පොපි ද වැවුනේය. මෙම වතුයායන් පසුව මත්ද්‍රව්‍ය කාටල්වල පාලනයට නතු වීමත් සමඟ, කුඩා කාලයේදීම ප්‍රචණ්ඩත්වය සහ නීති විරෝධී වෙළඳාම එල් මෙන්චෝගේ  ඇස් පනාපිටම සාමාන්‍ය දෙයක් බවට පත් විය. මේ පසුබිමේ දී  මෙන්චෝගේ පවුල සාමකාමී ගොවි පවුලක් ලෙස පෙනුනද, ඔහුගේ සහෝදරයන් කිහිප දෙනෙකුම අපරාධ ලෝකය සමඟ සමීප සබඳතා පවත්වාගෙන ගියේය. විශේෂයෙන්ම ඔහුගේ සහෝදරයෙකු වූ ඒබ්‍රහම් ඔසෙගුවේරා, මෙන්චෝට අපරාධ ලෝකයේ මූලික පාඩම් ඉගැන්වූ අයෙකු ලෙස සැලකුනේය. දරිද්‍රතාවයෙන් මිදීමට ඇති එකම මග මත්ද්‍රව්‍ය ජාවාරම බව ඔහුගේ පවුල් පරිසරය තුළ මුල් බැස තිබූ මතයකි.

කැලිෆෝනියාවට පැන යෑම

1980 දශකයේ අගභාගයේදී ඔහු සහ ඔහුගේ සහෝදරයන් එක්ව ඇමරිකාවට හොර රහසේ සංක්‍රමණය වීමට තීරණය කළේද, තම දෙමව්පියන් විඳි දිළිඳුකමෙන් මිදී ඉක්මනින් මුදල් සෙවීමේ අරමුණිනි. එහිදී ඔහු සැන් ෆ්‍රැන්සිස්කෝ හි වීදිවල මත්ද්‍රව්‍ය විකුණමින් තම අපරාධ ජීවිතය නිල වශයෙන් ආරම්භ කළේය. හෙරොයින් සහ මෙතම්පෙටමින් (Methamphetamine) ජාවාරම ඔහුගේ රැකියාව විය.

මේ ජාවාරම් සදාකාලික වූයේ නැත. ඔහු විටින් විට සැන් ෆ්‍රැන්සිකෝ ආරක්ෂක අංශවල අත් අඩංගුවට පත් විය. වර්ෂ 1986 දී පහරදීමක් සම්බන්ධයෙන්ද, 1994 දී මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන්ද, පසුව මත්ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල විය.

අනතුරුව ඔහු 1997 දී පමණ නැවත මෙක්සිකෝවට පිටුවහල් කරනු ලැබුවේය.

මෙක්සිකෝවට පැමිණි පසු එල් මෙන්චෝ ජලිස්කෝ ප්‍රාන්තයේ ටොමැට්ලාන් (Tomatlán) නගරයේ නගරබද පොලිස් ඒකකයට (Municipal Police) එක් විය. එම කාලවකවානුවේ මෙක්සිකෝවේ කුඩා නගරවල පොලිස් සේවයට එක්වීමට ඉහළ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීමක් සිදු නොවුණි. දූෂණය සහ පවුල් සබඳතා මත එවැනි රැකියා ලබා ගැනීම සාමාන්‍ය දෙයක් විය. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ ඉතිහාසයක් සහිත පවුලකින් පැවත එන, නීති විරෝධී ලෙස විදේශගත වී මත්ද්‍රව්‍ය ජවාරම් කිරීමේ වරදට සිර දඬුවමකට ලක් කර යළි මෙක්සිකෝව වෙත පිටුවහල් කරන අපාරාධ ඉතිහාසයක් සහිත හරිහමන් අධ්‍යාපනයක් නැති පුද්ගලයෙකුට මෙක්සිකෝවේ පොලිසියේ සේවයට බැඳීමට ලැබීම එදා මෙක්සිකෝවේ ස්වරූපය කියා පෑවේය.

එල් මෙන්චෝ  ඉන් පසු ටොමැට්ලාන් හි පොලිස් නිලධාරියෙකු ලෙස කෙටි කාලයක් සේවය කළේය. එය දෛවයේ සරදමක් බඳු වූ අතර, එමගින් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල උපක්‍රම පිළිබඳව ඔහුට අභ්‍යන්තර දැනුමක් ලැබුණි. එමෙන්ම ඔහුට පොලිස් සේවයට සම්බන්ධ විශාල පිරිසක් සමග සම්බන්ධතා ජාලයක් ගොඩනගා ගැනීමට ද හැකි විය.

ටික කාලයක් පොලිස් සේවයේ සිටි එල් මෙන්චෝ පසුව අපරාධ කල්ලියකට එක් විය. ඔහු එක් වන්නේ ‘මිලේනියෝ කාටලය’ (Milenio Cartel) නැමැති කුප්‍රකට අපරාධ කල්ලියටය.  එම කල්ලිය සමග එක් වීමෙන් පසු කුප්‍රකට අපරාධකරුවන් වූ  ඉග්නේෂියෝ “නාචෝ” කොරොනෙල් වැනි ප්‍රබලයන් යටතේ ඔහු සේවය කළේය.  මේ අත්දැකීම් සමග ඔහු වඩාත් කැපී පෙනුන පෞරුෂ ලක්ෂණයක් ඔහු තුළ විය. ඒ ඔහු තුළ පැවති  අමානුෂිකත්වය සහ කෙළවරක් නොපෙනුන කුරිරුකමය. මෙම කාල පරිච්ඡේදය ඔහුගේ අපරාධ ලෝකයේ පූර්ණ ගිල්ම සනිටුහන් කළ අතර, එහිදී පක්ෂපාතිත්වය සහ ප්‍රචණ්ඩත්වය ඔහුගේ ඉදිරි ගමනට ඉවහල් විය.

අපරාධ ලෝකයේ රජු දක්වා පැමිණි ගමන –

2000 දශකයේ මුල් භාගයේදී, ප්‍රධාන පෙළේ අත්අඩංගුවට ගැනීම් සහ 2010 දී කුප්‍රකට අපරාධ කල්ලි නායක නාචෝ කොරොනෙල්ගේ ඝාතනයත් සමඟ එල් මෙන්චෝ සම්බන්ධව සිටි  ‘මිලේනියෝ කාටලය’ බිඳ වැටීමට පටන් ගත්තේය. මෙන්චෝ  මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් අතර, 2007-2009 කාලය තුළ කුප්‍රකට අපරාධ කල්ලි ක්‍රියාකාරීන්වන  එරික් වැලෙන්සියා සලසාර් (“El 85”) වැනි සගයන් සමඟ එක්ව ජලිස්කෝ නිව් ජෙනරේෂන් කාටල් (CJNG) නමින් නව අපරාධ කල්ලියක් ආරම්භ කළේය. මුලදී සිනලෝවා කාටලයේ (Sinaloa Cartel) සන්නද්ධ අංශයක් ලෙස ක්‍රියා කළ CJNG, පසුව ඉන් වෙන්විය. පසුව  ‘ලොස් සේටාස්’ (Los Zetas) සහ ‘නයිට්ස් ටෙම්ප්ලර්’ (Knights Templar) වැනි ප්‍රතිවිරුද්ධ  කල්ලි සමඟ දරුණු බල අරගල මෙන්චෝ ගේ කලිල්ය ආරම්භ කළේය.

මේ  වකවානුවේ මෙක්සිකානු අපරාධ ලෝකය පාලනය කළේ “සිටුවරුන්” බඳු සුඛෝපභෝගී ජීවිත ගත කළ නායකයන්ය. විශේෂයෙන්ම ‘සිනලෝවා’ (Sinaloa) කාටලයේ එල් චාපෝ (El Chapo) වැනි නායකයන් සමාජය ඉදිරියේ පෙනී සිටියේ “දුප්පතුන්ගේ වීරයන්” ලෙසය. ඔවුන් සතුව රත්‍රන් ආලේපිත ගිනිඅවි, පෞද්ගලික සත්වෝද්‍යාන සහ අරාබි අශ්වයන්ගෙන් පිරි ගොවිපළවල් තිබුණි. ඔවුන් තම බලය පවත්වාගත්තේ දේශපාලනඥයන්ට අල්ලස් ලබා දෙමින් සහ යම් ප්‍රමාණයක ගෞරවනීය ස්වරූපයක් ආරූඪ කරගනිමිනි.

එල් මෙන්චෝ  මේ අතරට පැමිණියේ අල්පේච්ඡ, එහෙත් අතිශය මාරාන්තික “වෘත්තීය මිනීමරුවෙකු” ලෙසය. ඔහු එවකට සිටි නායකයන් මෙන් සුඛෝපභෝගී සාදවලට හෝ ප්‍රසිද්ධියට කැමති වූයේ නැත. ඔහුගේ ඉලක්කය වූයේ සාම්ප්‍රදායික නායකයන් සතු වූ එම සුඛෝපභෝගී “ප්‍රභූ” සංස්කෘතිය බිඳ දමා, හමුදාමය විනයක් සහිත අතිශය ප්‍රචණ්ඩකාරී නව බලවේගයක් ගොඩනැඟීමය.

එහෙත් ඔහු සිය අපරාධ ලෝකය තහවුරු කරගැනීම සඳහා දේශපාලනය භාවිතා කළේය. CJNG කාටලය ප්‍රාදේශීය නගරාධිපතිවරුන්ගේ සිට ඉහළ පෙළේ දේශපාලනඥයන් දක්වා මැතිවරණ ව්‍යාපාර සඳහා අරමුදල් සැපයූ අතර, ඒ වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා “නිදහස් මාවත්” ලබාගත්තේය. මෙහිදී ඔහු “ප්ලාටා ඕ ප්ලෝමෝ” (රිදී හෝ ඊයම්) යන උපක්‍රමය දැඩි ලෙස භාවිත කළේය. එනම් එක්කෝ කාටලයේ මුදල් (රිදී) ලබාගෙන ඔවුන්ට සහාය දිය යුතුය, නැතහොත් වෙඩි උණ්ඩවලට (ඊයම්) ගොදුරු විය යුතුය.

2021 සහ 2024 මෙක්සිකානු මැතිවරණ සමයන්හිදී තම අභිමතයට අවනත නොවන අපේක්ෂකයින් සිය ගණනක් ඝාතනය කිරීමට මෙන්චෝ නියෝග දුන් බවට සාක්ෂි හෙළි වී තිබේ. මෙමගින් දේශපාලන තන්ත්‍රය තුළ භීෂණය වපුරා තම කල්ලියට හිතවත් පාලනයක් පවත්වාගෙන යාමට ඔහු සමත් විය.

එමෙන්ම එල් මෙන්චෝ මුල් කාලයේ පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කර තිබීම නිසා ආරක්ෂක අංශවල ක්‍රියාකාරිත්වය පිළිබඳව ඔහුට මනා අවබෝධයක් තිබුණි. ඔහු ප්‍රාදේශීය සහ ෆෙඩරල් පොලිසියේ උසස් නිලධාරීන් රැසකට මාසික වැටුප් ගෙවමින් ඔවුන්ව තම “තොරතුරුකරුවන්” බවට පත් කරගත්තේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, රජය විසින් ඔහු අල්ලා ගැනීමට දියත් කළ බොහෝ රහසිගත මෙහෙයුම් ආරම්භ වීමටත් පෙර ඔහුට ඒ පිළිබඳ තොරතුරු ලැබුණි.

2015 වසරේදී ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය හමුදා හෙලිකොප්ටරයකට රොකට් ප්‍රහාර එල්ල කිරීමට තරම් ඔහුට සහ ඔහුගේ සන්නද්ධ කල්ලියට හමුදා ශක්තියක් සහ පූර්ව තොරතුරු ලැබී තිබුණේ ආරක්ෂක අංශ තුළ සිටි ඔහුගේ හිතවාදීන්ගෙනි. එමෙන්ම, සිරගතව සිටින තම පවුලේ සාමාජිකයන්ට සහ සගයන්ට බන්ධනාගාර තුළ පවා විශේෂ පහසුකම් සැලසීමට ආරක්ෂක නිලධාරීන්ට සිදුවිය.

එල් මෙන්චෝගේ නැගීම වඩාත් කැපී පෙනුණේ එවකට මෙක්සිකෝවේ බියකරුම කල්ලිය ලෙස සැලකුණු ‘ලොස් සේටාස්’ සමඟ ඇති වූ ගැටුමත් සමඟය. ලොස් සේටාස් යනු මෙක්සිකානු හමුදාවෙන් පැන ආ විශේෂ බලකා සෙබළුන් පිරිසක් විසින් පිහිටුවාගත් කල්ලියකි. ඔවුන් සාම්ප්‍රදායික කාටල් නායකයන්ට වඩා ප්‍රචණ්ඩ වූ අතර, මෙන්චෝගේ CJNG කල්ලිය මුලින්ම කරළියට පැමිණියේ මෙම ‘සේටාස්’ කල්ලිය මර්දනය කිරීම පෙරට ගනිමිනි. මෙන්චොගේ කල්ලිය  “පොදු ජනතාවගේ ආරක්ෂකයන්” ලෙස පෙනී සිටිමින් “Mata Zetas” (සේටාස් දඩයම්කරුවන්) නමින් මෙහෙයුමක් ආරම්භ කළේය.

2011 වසරේදී වෙරාකෲස් (Veracruz) නගරයේ මහාමාර්ගයක් මත ‘සේටාස්’ සාමාජිකයන් 35 දෙනෙකුගේ මළසිරුරු ගොඩගසා ප්‍රදර්ශනය කරමින් මෙන්චෝ මුළු ලෝකයේම අවධානය තමන් වෙත යොමු කර ගත්තේය.    මෙය එවකට අපරාධ ලෝකයේ සිටි මුල් පෙළේ  අපරාධකරුවන් පවා භීතියට පත් කළ ක්‍රියාවක් වූ අතර, පසුව ඔහු එම ජනප්‍රියත්වය භාවිත කරමින් තම ස්වාධීන අධිරාජ්‍යය (CJNG) ගොඩනැගුවේය.

 “කඳුකරයේ වෘකයා”

මෙක්සිකෝවේ භූ ගෝලීය පිහිටීම මෙන්චෝ තම වාසියට හරවා ගත්තේ ඉතා සූක්ෂ්ම ලෙසය. සිනලෝවා වැනි කාටල් තැනිතලා සහ වෙරළබඩ කලාප කේන්ද්‍ර කරගනිමින් සුඛෝපභෝගී නගරවල රජ කරන විට, මෙන්චෝ තෝරාගත්තේ මධ්‍යම මෙක්සිකෝවේ පිහිටි දුෂ්කර කඳුකර සහ වනාන්තර කලාපයය. මෙම භූමිය ඔහුට ස්වභාවික බලකොටුවක් විය.

එල් මෙන්චෝගේ වාසස්ථාන සරල පෙනුමක් තිබුණද, ඒවා ඇතුළතින් ඉතා නවීන සන්නිවේදන පහසුකම්, වටිනා ගෘහ භාණ්ඩ සහ ආරක්ෂිත බංකර්වලින් සමන්විත විය. ඔහු නිතරම එක් ස්ථානයක නොසිටි අතර, “ජංගම සුඛෝපභෝගී කුටි” (Mobile Luxury Cabins) භාවිත කරමින් කැලෑව තුළ තම වාසස්ථානය නිතරම වෙනස් කළේය.

එල් මෙන්චෝ වටා තිබූ ආරක්ෂක වළල්ල ලොව ඕනෑම රාජ්‍ය නායකයෙකුට වඩා දරුණු සහ සංකීර්ණ එකක් විය. ඔහුගේ ආරක්ෂාව ස්ථර කිහිපයකින් සමන්විත විය. පළමු වළල්ල (The Inner Circle): මෙය “El Grupo Elite” ලෙස හැඳින්වෙන CJNG කල්ලියේ හොඳම පුහුණුව ලැබූ සෙබළුන් 50-100 අතර ප්‍රමාණයකගෙන් සමන්විත විය. ඔවුන් සතුව නවීනතම ස්වයංක්‍රීය ගිනිඅවි, වෙඩි නොවදින වාහන සහ රාත්‍රී කාලයේ නිරීක්ෂණය කළ හැකි දුරදක්න (Night Vision) තිබුණි.

ඔහු රැඳී සිටින ප්‍රදේශය වටා කිලෝමීටර් කිහිපයක් යනතුරු උසස් තාක්ෂණික “ජෑමර්” (Jammers) යොදා තිබූ අතර, එමගින් ගුවන් විදුලි තරංග හෝ දුරකථන සංඥා හරහා ඔහුව නිරීක්ෂණය කිරීම අඩාල කෙරිණි. එය තාක්ෂණික වළල්ලය.

පිටින්ම ඔහු වෙනුවෙන් කැපවී සිටි ජනතා පවුරය.  ඔහු සැඟවී සිටි ගම්මානවල දුප්පත් ජනතාවට ඔහු මුදල් සහ ආහාර ලබා දී තිබුණි. මේ හේතුවෙන් ආරක්ෂක අංශ පැමිණෙන ඕනෑම අවස්ථාවක, එම ගම්වාසීන් විසින් රතිඤ්ඤා පත්තු කිරීමෙන් හෝ පණිවිඩ යැවීමෙන් මෙන්චෝට පලා යාමට අවශ්‍ය පෙර නිමිති ලබා දෙන ලදී.

උපායමාර්ගික නිරීක්ෂණය සහ ඩ්‍රෝන බලකායක් ද ඔහු සතු විය. මෙම නවීන ඩ්‍රෝන තාක්ෂණය උපරිමයෙන් ආරක්ෂාව වෙනුවෙන් භාවිතාවිනි. ඔහුගේ ආරක්ෂක බලකාය නිරන්තරයෙන් ගුවනින් ප්‍රදේශය නිරීක්ෂණය කළ අතර, ඕනෑම සැකකටයුතු හමුදාමය චලනයක් සැතපුම් ගණනාවක සිට හඳුනා ගැනීමට ඔවුන්ට හැකි විය. මීට අමතරව, වාසස්ථානයට ඇතුළු වන සියලුම මාර්ගවල බිම් බෝම්බ සහ රහසිගත කැමරා සවිකර තිබූ අතර, ආරක්ෂක අංශවලට ඔහුගේ රහසිගත නිවහනක් ආසන්නයට පවා ළඟා වීම මාරාන්තික අභියෝගයක් විය.

තමන්ගේම මත්ද්‍රව්‍ය කම්හල් සහ වගා බිම්

එල් මෙන්චෝ හුදෙක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නෙකු පමණක් නොව, ඔහු සැබෑ නිෂ්පාදකයෙකු ද විය. මිචෝකාන් සහ ගුවෙරේරෝ ප්‍රාන්තවල පිහිටි දුෂ්කර කඳුකර ප්‍රදේශවල හෙක්ටයාර දහස් ගණනක පොපි (Poppy) සහ ගංජා වගාවන් ඔහු සතු විය. හෙරොයින් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඔහු ලබාගත්තේ මෙම වතුයායවලිනි.

මෙන්චෝගේ බලය සැබවින්ම වර්ධනය වූයේ ඔහු විසින් ස්ථාපිත කළ “මෙතම්පෙටමින්” (Meth) සහ “ෆෙන්ටැනයිල්” නිෂ්පාදනය කරන රහසිගත රසායනාගාර ජාලය නිසාය. කැලෑබද ප්‍රදේශවල පිහිටුවා තිබූ මෙම දැවැන්ත කම්හල් තුළ එකවර මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් සිය ගණනක් නිෂ්පාදනය කළ හැකි විය.

ෆෙන්ටැනයිල් නිෂ්පාදනයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය (Precursor chemicals) ඔහු සෘජුවම චීනයෙන් ගෙන්වා ගත් අතර, ඔහු යටතේ සිටි රසායන විද්‍යාඥයන් එම ද්‍රව්‍ය යොදාගෙන ලොව බලවත්ම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළහ.

මේ ආකාරයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වූ  එල් මෙන්චෝ ගේ  CJNG කාටලයේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 8 ත් 20 ත් අතර ප්‍රමාණයක් ඉපයු බව ඇමරිකානු මත්ද්‍රව්‍ය මර්දන ඒකකය (DEA) ඇස්තමේන්තු කර තිබුණි. ඒ අනුව, මෙන්චෝගේ පාලනය යටතේ මාසිකව උපයා ඇති ආදායම දළ වශයෙන් ඩොලර් මිලියන 600 ඉක්මවීය. මෙම අතිවිශාල ධනය උපයා ගත්තේ හුදෙක් මත්ද්‍රව්‍යවලින් පමණක් නොව, කප්පම් ගැනීම්, ඉන්ධන සොරකම් කිරීම් සහ නීති විරෝධී පතල් කැණීම් වැනි විවිධ ක්ෂේත්‍රයන් ද තමන් යටතට ගැනීමෙනි.

මුදල් පරිපාලනය: “ලොස් කුයිනිස්” මූල්‍ය ජාලය

රොසලින්ඩා ගොන්සාලෙස් වැලෙන්සියා

අපාරාධ ලෝකය හරහා පැමිණි ගමනේ දී  මෙන්චෝගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ ඔහු රොසලින්ඩා ගොන්සාලෙස් වැලෙන්සියා (Rosalinda González Valencia) සමඟ විවාහ වීමත් සමගය. රොසලින්ඩා අයත් වූයේ ‘ලොස් කුයිනිස්’ (Los Cuinis) නම් ඉතා ධනවත් සහ බලවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාර පවුලකටය. මෙම විවාහය හුදෙක් ආදර සබඳතාවක් පමණක් නොව, මූල්‍යමය සහ උපායමාර්ගික සන්ධානයක් ද විය. ඇගේ පවුලේ සහාය ඇතිව මෙන්චෝට අපරාධ ලෝකයේ ඉහළටම යාමට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සහ සම්බන්ධතා ජාලය ලැබුණි.

මෙන්චෝගේ මුදල් පරිපාලනය සිදු වූයේ ලොව සංකීර්ණතම මූල්‍ය විශුද්ධිකරණ ජාලයක් හරහාය. මෙහි ප්‍රධාන වගකීම දැරුවේ ඔහුගේ බිරිඳගේ පවුලය.  ඔවුන්ට අයත් රියල් එස්ටේට් සමාගම්, සුඛෝපභෝගී හෝටල් සහ සාප්පු සංකීර්ණ හරහා මත්ද්‍රව්‍යවලින් උපයන කළු සල්ලි සුදු කිරීම සිදු විය. මෙම මුදල් පරිපාලනය කෙතරම් සූක්ෂ්මද යත්, ඔවුහු ආසියාවේ සහ යුරෝපයේ ව්‍යාජ සමාගම් ජාලයක් පවා පවත්වාගෙන ගියහ. මුදල් ගනුදෙනු සඳහා ඔවුන් බොහෝ විට බැංකු පද්ධතිය මගහැර, රහසිගත පණිවිඩකරුවන් සහ ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) භාවිත කළ බව ද පැවසේ.

රහස්‍ය භාවය ආරක්ෂා කරගත් හැටි

මෙන්චෝගේ මත්ද්‍රව්‍ය නිශ්පාදනාගාරවල අති විශේෂ හැකියාවන් සහිත රසායන විද්‍යාඥවරු සේවය කළහ.   එමෙන්ම මෙන්චෝ මරා දැමෙන විට සිටියේ වකුගඩු අකර්මණ්‍යතාවයකින් පෙළෙමිනි. ඔහුට ප්‍රතිකාර කිරීම සඳහා නවීන පහසුකම්වලින් යුතු රෝහලක් ද මෙම බලකොටුව තුළ විය. එම රෝහලේ සේවය සපයනු ලැබුවේ විශේෂඥ වෛද්‍යවරුන් විසිනි.

එල් මෙන්චෝ වෙනුවෙන් සේවය කළ රසායන විද්‍යාඥයින් (Cooks) සහ වෛද්‍යවරුන් සමාජයෙන් සම්පූර්ණයෙන්ම හුදකලා කර තිබුණි. ඔවුන්ව කාටලය විසින් හඳුන්වනු ලැබුවේ “වටිනා සම්පත්” ලෙස වුවද, ප්‍රායෝගිකව ඔවුන් ගත කළේ අතිශය දැඩි රැකවල් සහිත සිරකරුවන්ගේ ජීවිතයකි.

මෙන්චෝ වෙනුවෙන් කැලෑබද රසායනාගාරවල හෝ රහසිගත රෝහල්වල සේවය කළ වෘත්තිකයන්ට තම පවුලේ අය සමඟ පවා සම්බන්ධතා පැවැත්වීම තහනම් කර තිබුණි. ඔවුන්ව එම ස්ථාන කරා රැගෙන එනු ලැබුවේ ඇස් බැඳ, විවිධ රහසිගත මාර්ග හරහාය. ඒ අනුව තමන් සිටින්නේ භූ ගෝලීය වශයෙන් කොතැනදැයි තේරුම් ගැනීමට පවා ඔවුන්ට නොහැකි විය.

ඕනෑම තොරතුරක් පිටතට ගලා යාම වැළැක්වීම සඳහා කාටලය “සාමූහික වගකීම” (Collective Responsibility) නමැති බිහිසුණු නීතිය ක්‍රියාත්මක කළේය. එනම්, යම් වෛද්‍යවරයෙකු හෝ රසායන විද්‍යාඥයෙකු තොරතුරක් පිටතට ලබා දුන්නහොත්, ඔහුට අමතරව ඔහුගේ මුළු පවුලම අනුකම්පා විරහිතව ඝාතනය කරන බවට මෙන්චෝ තර්ජනය කර තිබුණි. එමෙන්ම ඔවුන්ගේ සියලුම සන්නිවේදන උපකරණ කාටලයේ තාක්ෂණික අංශය විසින් පැය 24 පුරාම නිරීක්ෂණය කරන ලදී.

මෙම වෘත්තිකයන්ට සාමාන්‍ය සේවයකදී ලැබෙනවාට වඩා දස ගුණයක පමණ වැටුපක් ලබා දීමට මෙන්චෝ කටයුතු කළේය. එය ඔවුන්ව එම මාරාන්තික රැකියාව තුළ රඳවා ගැනීමට යොදාගත් “රන් ඇම” විය. එහෙත්, මෙන්චෝගේ අසනීප තත්ත්වය උත්සන්න වූ කාලවකවානුවලදී ඔහුට ප්‍රතිකාර කළ ඇතැම් වෛද්‍යවරුන්, එම රහස් පිටතට යනු ඇතැයි යන සැකය මත ප්‍රතිකාර අවසානයේ “අතුරුදහන්” කළ බවට ද සත්‍යාපිත නොවන බුද්ධි වාර්තා පවතී.

 මාරාන්තික වැටලීම සිදු වූ අයුරු

අවසන් මෙහෙයුම…

එල් මෙන්චෝ අල්ලා ගැනීමේ මෙහෙයුම හුදෙක් හමුදා ප්‍රහාරයක් නොව, ඉතා සංකීර්ණ තාක්ෂණික සහ බුද්ධි තොරතුරු මත පදනම් වූවකි. ඇමරිකානු මත්ද්‍රව්‍ය මර්දන ඒකකය (DEA) සහ මෙක්සිකානු නාවික හමුදා බුද්ධි අංශ එක්ව මාස කිහිපයක් තිස්සේ මෙන්චෝගේ පණිවිඩකරුවන් සහ ඔහුගේ රහසිගත වෛද්‍ය ප්‍රතිකාර සපයන්නන් නිරීක්ෂණය කරන ලදී.

එල් මෙන්චෝ වසර කිහිපයක සිට දරුණු වකුගඩු අකර්මණ්‍ය වීමේ (Renal Failure) රෝගයකින් පීඩා වින්ද ආකාරය බුද්ධි අංශ විසින් අනාවරණය කරගත්තේය. මෙය ඔහුගේ අපරාධ ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර තිබිණි. වකුගඩු නිසි ලෙස ක්‍රියා නොකිරීම හේතුවෙන් ඔහුට නිරන්තරයෙන් රුධිර කාන්දුකරණය (Dialysis) අවශ්‍ය වූයේය. මේ හේතුවෙන් ඔහු තම රහසිගත බලකොටුවක් වූ ජලිස්කෝ හි ‘එල් අල්කැන්සෝ’ (El Alcance) ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක්    ඉදිකර ගත්තේය.

වකුගඩු රෝගය හේතුවෙන් ඔහුගේ ශරීරය බෙහෙවින් දුර්වල වී තිබූ අතර, අවසාන වසර දෙක තුළ ඔහුට බොහෝ විට ඇවිදීමට පවා අපහසු වූ බව වාර්තා විය. ඔහු  සම්බන්ධව සිදුකළ තීව්‍ර සොයාබැලීම්වලදී  ඔහු ජලිස්කෝ ප්‍රාන්තයේ තපල්පා   ප්‍රදේශයේ දුෂ්කර කඳුකර නිවසක රැඳී සිටින බවට ස්ථිර තොරතුරු ලැබුණි.

පෙබරවාරි 22 දින අලුයම, මෙක්සිකානු විශේෂ බලකා සාමාජිකයන් සහ නාවික හමුදා භටයන් කළු පැහැති “Black Hawk” හෙලිකොප්ටර් යානා භාවිත කරමින් එම ප්‍රදේශය වට කළහ. මෙන්චෝගේ ආරක්ෂක වළල්ල සතු වූ ඩ්‍රෝන සහ රේඩාර් පද්ධති මග හැරීම සඳහා හමුදාව ඉතා පහළින් පියාසර කරන “නිහඬ” (Stealth) තාක්ෂණික උපක්‍රම භාවිත කළේය.

හමුදාව වාසස්ථානය වට කරන විට, මෙන්චෝගේ ප්‍රභූ ආරක්ෂක බලකාය (Elite Group) දරුණු ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය. ඔවුන් සතු වූ මැෂින් තුවක්කු සහ ස්නයිපර් අවි හේතුවෙන් විනාඩි 40කට අධික කාලයක් දෙපාර්ශ්වය අතර දරුණු වෙඩි හුවමාරුවක් පැවතිණි. මෙහිදී හමුදාව විසින් මෙන්චෝගේ ආරක්ෂකයන් රැඳී සිටි බංකර් විනාශ කිරීමට ගුවනින් ප්‍රහාර එල්ල කරන ලදී.

මෙම ගැටුමේදී මෙන්චෝගේ උදරයට සහ පපුවට වෙඩි වැදී බරපතල තුවාල ලැබීය. ඔහුගේ සගයන් ඔහුව රැගෙන පලා යාමට රැගෙන යාමට උත්සාහ කළද, හමුදාව විසින් එම මාර්ග ද අවහිර කර තිබුණි. අවසානයේ තුවාල ලැබූ මෙන්චෝ අත්අඩංගුවට ගෙන වහාම හෙලිකොප්ටරයක් මගින් මෙක්සිකෝ සිටි හි පිහිටි හමුදා රෝහලක් වෙත රැගෙන යාමට කටයුතු කළ නමුත්, වකුගඩු අකර්මණ්‍යව සිටි මෙම අපරාධකරු   අධික රුධිර වහනය සහ හෘදයාබාධයක් හේතුවෙන් අතරමගදී මියි ගියේය.

මෙහෙයුමේ සාර්ථකත්වයට හේතු වූ “අභ්‍යන්තර පාවාදීම”

පසුකාලීන වාර්තාවලට අනුව, මෙම මෙහෙයුම සාර්ථක වීමට CJNG කාටලයේම ඉහළ පෙළේ සාමාජිකයෙකුගෙන් ලැබුණු තොරතුරු තීරණාත්මක වී ඇත. මෙන්චෝගේ අසනීප තත්ත්වය හේතුවෙන් කාටලය තුළ ඇති වූ අභ්‍යන්තර බල අරගලය මෙම පාවාදීමට හේතු වූ බව විශ්වාස කෙරේ. ආරක්ෂක අංශ විසින් එම තොරතුරුකරුට ලබා දුන් පොරොන්දුවක් මත, මෙන්චෝගේ රහසිගතම ආරක්ෂක උපක්‍රම අක්‍රීය කළ හැකි “කවුළුවක්”   හමුදාවට විවෘත විය.

මෙවැනි ඉහළ පෙළේ පාවාදීමකදී, අදාළ පුද්ගලයාට සහ ඔහුගේ සමීපතම පවුලේ සාමාජිකයන්ට උපරිම රාජ්‍ය ආරක්ෂාව ලබා දීම සම්මතයකි. මෙක්සිකානු බලධාරීන් සහ ඇමරිකානු මත්ද්‍රව්‍ය මර්දන ඒකකය (DEA) අතර ඇති එකඟතාවය අනුව, එම පුද්ගලයා සහ පවුලේ අය වහාම ඇමරිකා එක්සත් ජනපදය වෙත රහසිගතව රැගෙන ගොස් ඇති බවට විශ්වාස කෙරේ.

එහිදී ඔවුන්ට නව අනන්‍යතාවක් ලබා දීම සිදුවනු ඇත.  ඔවුන්ගේ පැරණි නම, ගම සහ සියලුම ලේඛන මකා දමා නව නම් සහ නව උප්පැන්න සහතික සහිත “නව ජීවිතයක්” ලබා දෙනු ඇත.   කාටල් කල්ලිවලින් සිදුවන පළිගැනීම්වලින් බේරීම සඳහා ඔවුන්ට ප්ලාස්ටික් සැත්කම් මගින් මුහුණේ ස්වරූපය වෙනස් කිරීමට පවා පහසුකම් සැලසෙනු ඇත. ඇමරිකානු ෆෙඩරල් මාර්ෂල්වරුන්  ) යටතේ ඔවුන් වසර ගණනාවක් යනතුරු දැඩි රහසිගත රැකවල් මැද ජීවත් විය යුතුය.

මෙක්සිකානු බුද්ධි අංශ ආරංචි මාර්ග පවසන්නේ, මෙම තොරතුරු ලබා දුන් පුද්ගලයා CJNG කාටලයේ “ඉහළම මණ්ඩලයේ”   සාමාජිකයෙකු බැවින්, ඔහු සොයා ගැනීමට කාටලය මේ වන විටත් විශාල මුදලක් වෙන් කර ඇති බවය. CJNG වැනි කල්ලි “පාවා දෙන්නන්” (Snitches) සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ අතිශය කුරිරු ප්‍රතිපත්තියකි. මේ හේතුවෙන් එම පුද්ගලයාට තම ජීවිත කාලය පුරාම රජයේ දැඩි ආරක්ෂාව යටතේ, තම මව්බිමෙන් බැහැරව රහසිගතව ජීවත් වීමට සිදුවනු ඇත.

කූඩු වූ වෘකයෙකුගේ අවසාන කාලය

ඔහුගේ අවසාන කාලය සුඛෝපභෝගී සැප විඳීමකට වඩා කූඩු වූ වෘකයෙකුගේ ජීවිතයකට සමාන විය. මරණ බිය සහ රෝගී තත්ත්වය හේතුවෙන් ඔහු ගත කළේ ඉතා හුදකලා ජීවිතයකි.

ඔහු එකම ස්ථානයක දින දෙකකට වඩා රැඳී සිටියේ නැත. රෝගී තත්ත්වයෙන් පීඩා විඳිමින් වුවද, හමුදා මෙහෙයුම්වලින් බේරීමට කඳුකරයේ එක් රහසිගත නිවසකින් තවත් නිවසකට මාරු වීමට ඔහුට සිදු විය.

ඔහුට ලබා දෙන ආහාර පවා සිතියම්ගත කර තිබූ අතර, විෂ වීමක් වේ යැයි බියෙන් ඔහුට ආහාර ලබා දීමට පෙර ඔහුගේ විශ්වාසවන්තම ආරක්ෂකයෙකු ලවා එම ආහාර රස බැලීමට ඔහු කටයුතු කළේය.

ඔහු කිසි විටෙකත් ජංගම දුරකථන භාවිත කළේ නැත. තම නියෝග නිකුත් කළේ අතින් ලියන ලද පණිවිඩ සහ පණිවිඩකරුවන් හරහා පමණි. මෙම දැඩි තහංචි හේතුවෙන් ඔහු තම පවුලේ සාමාජිකයන්ගෙන් පවා වෙන් වී හුදකලාව සිටියේය.

ඉරිතැලුනු පවුල් ජීවිතය

එල් මෙන්චෝ සහ රොසලින්ඩා ගොන්සාලෙස් වැලෙන්සියා (Rosalinda González Valencia) අතර තිබූ සබඳතාව සාමාන්‍ය විවාහයකට වඩා එහා ගිය මූල්‍යමය සන්ධානයක් විය. රොසලින්ඩා හුදෙක් ගෘහණියක් නොවූ අතර, ඇයව හඳුන්වනු ලැබුවේ “La Jefa” (ප්‍රධානියා) යන නමිනි. ඇය CJNG කාටලයේ මුදල් විශුද්ධිකරණ ජාලය මෙහෙයවූ මධ්‍ය ලක්ෂ්‍යය වූවාය. මෙන්චෝ කැලෑවල සැඟවී සිටිමින් සන්නද්ධ කල්ලි මෙහෙයවන විට, රොසලින්ඩා නගරබදව සිටිමින් කාටලයේ මූල්‍ය අධිරාජ්‍යය කළමනාකරණය කළාය. ඇය කිහිප වතාවක්ම මෙක්සිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. අවසානයේ ඇය සිරගත වූවාය. මෙම සිරගත කිරීම මෙන්චෝට එල්ල වූ ප්‍රබල මානසික පහරක් විය.

මෙන්චෝට දරුවන් තිදෙනෙකු සිටි අතර, ඔවුන් තිදෙනාම තම පියාගේ අපරාධ අධිරාජ්‍යය තුළ විවිධ වගකීම් දැරූහ. රූබන් ඔසෙගුවේරා   මෙන්චෝගේ පුතෙකි.    රූබන් කාටලයේ දෙවන නායකයා ලෙස කටයුතු කළේය. එහෙත් 2015 දී ඔහු අත්අඩංගුවට ගත් අතර පසුව ඇමරිකා එක්සත් ජනපදයට පිටුවහල්  කරනු ලැබුවේය. තම පුත්‍රයා නිදහස් කර ගැනීම සඳහා මෙන්චෝ රජයට දැඩි බලපෑම් කළද එය සාර්ථක වූයේ නැත.

ජෙසිකා ජොහානා ඔසෙගුවේරා මෙන්චෝගේ දියණිය ය.  ඇය කාටලයේ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් වගකීම දැරූ අතර, ඇමරිකාවේදී අත්අඩංගුවට පත්ව වසරක පමණ සිරදඬුවමක් විඳ පසුව නිදහස් වූවාය.

ලයිෂා මිෂෙල් ඔසෙගුවේරා  මෙන්චෝගේ බාල දියණිය වන අතර ඇය ද කාටලයේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැක කෙරේ.  ඇය මේ වන විටත් ආරක්ෂක අංශවලින් මිදී සැඟවී සිටියි.

මෙන්චෝ සහ ඔහුගේ බිරිඳ අතර ගැඹුරු බැඳීමක් තිබුණද, ඔවුන්ගේ පවුල් ජීවිතය කිසි විටෙකත් සාමකාමී වූයේ නැත. මෙන්චෝගේ මරණය සිදුවන විටත් ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා සිටියේ බන්ධනාගාරගතවය. ලොවම භීතියට පත් කළ අධිරාජ්‍යයක් ගොඩනැඟුවද, ඔහු බොහෝ දේ අහිමි වූ මිනිසෙක් ලෙස ජීවිතයේ අවසන් ගමන ගොස් තිබිණි.

 පසුව ඇති වූ ප්‍රචණ්ඩත්වය

මෙන්චෝ ගේ  මරණයත් සමඟ විශාල කලබලයක් ඇති විය. CJNG සාමාජිකයන් වාහන ගිනිබත් කරමින්, මාර්ග අවහිර කරමින් සහ අවම වශයෙන් ප්‍රාන්ත 20ක ගුවන් තොටුපළවලට කඩා වදිමින් විරෝධය පෑහ. පාසල් වසා දැමීමට සිදු වූ අතර, සංචාරකයන් ද අතරමං විය. මේ වන විට අවම වශයෙන් පුද්ගල මරණ 14ක් වාර්තා වී ඇත.

මේ සමගම CJNG කාටලය තුළ මෙන්චෝට පසුව දෙවන පෙළ නායකයන් අතර දරුණු ලේ වැගිරීම් ඇති විය හැකිය. මෙය මෙක්සිකෝවේ වීදි යුද පිටි බවට පත් කිරීමට සමත්ය.

ෆෙන්ටැනයිල් සහ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය සඳහා පවතින ගෝලීය ඉල්ලුම අඩු නොවන තාක්, මෙන්චෝගේ අඩුව පිරවීමට සිනලෝවා වැනි ප්‍රතිවාදී කල්ලි හෝ අලුතින් මතුවන කුඩා අපරාධ කල්ලි උත්සාහ කරනු ඇත. නව නායකයන් තමන්ගේ බලය පෙන්වීම සඳහා පැරණි නායකයන්ට වඩා බිහිසුණු ප්‍රහාර දියත් කිරීමට පෙළඹීම මත්ද්‍රව්‍ය ලෝකයේ සාමාන්‍ය ස්වභාවයයි. එයට මුහුන දීමට ලෝකයට සිදුවනු ඇත.

දැන් මේ තත්ත්වය තේරුම් ගත යුතුය.  නෙම්සියෝ  රුබෙන් ඔසෙගුවේරා සර්වාන්ටේස් නොහොත් “එල් මෙන්චෝ” ගේ අධිරාජ්‍යය බිඳ වැටී ඇත. එහෙත් ඔහු විසින් ලොවට හඳුන්වා දුන් “අධි-ප්‍රචණ්ඩකාරී”   අපරාධ සංස්කෘතිය මෙක්සිකෝවෙන් හෝ ගෝලීය පාතාලයෙන් මුලිනුපුටා දැමීමට තවමත් නොහැකි වී තිබේ. ඔහුගේ මරණය එක් බිහිසුණු පරිච්ඡේදයක අවසානය වුවද, මත්ද්‍රව්‍ය ජාලයන්   තවමත් ජීවමානය.

එබැවින්, මෙන්චෝගේ වැටීම යුක්තියේ ජයග්‍රහණයක් ලෙස සැමරීමට වඩා, ඉදිරියේදී ඇති විය හැකි තවත් ප්‍රචණ්ඩකාරී යුගයකට සූදානම් වීමට ලෝක ප්‍රජාවට කරන අනතුරු ඇඟවීමක් ලෙස සැලකීම වඩාත් යථාර්ථවාදී වනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නීතිඥ යුවල ඝාතනය කළ ඝාතකයින්ගේ කතාවේ මුල මැද අග…

Next Post

පේදුරුතුඩුව අධිකරණයේ ගබඩා කර තිබූ නඩු කටයුතු අවසන් කේරල ගංජා කිලෝ 1700 ගිනි තබා විනාශ කරයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.