බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මධු ගේ කතාව හෙවත්  “අන්තර්ජාල  කුපාඩින්ට“ එරෙහිව ලියැවුණ ඓතිහාසික නඩු තීන්දුව!

by editor
පෙබරවාරි 26, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

ටානියා මෝසස් – 

ඉතිහාසගත නඩු තීන්දුවක් ලැබී තිබිණි. තීන්දුව ප්‍රකාශ වන්නේ පසුගිය 21 වැනිදා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයෙනි. මහියංගනය මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලක්ෂ්මන් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අශිෂ්ට පරිගණක සමාජ ජලා අපරධකරුවකුට ලක්ෂ අටක වන්දි මුදලක් සමග වසර එක හමාරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නිමය කළේය.

මූලික මානුෂික පැවැත්ම හා ශිෂ්ඨාචාරයක මූලික අර්ථය හඳුනා නොගෙන සයිබර් අවකාශය තුළ අවකෙළියෙහි යෙදෙන අශිෂ්ටයන් වෙත තිගස්වන සුළු අනතුරු ඇඟවීමක් සහිතව නිකුත් වුණු මෙම නඩු තීන්දුවට පාදක වන්නේ තරුණියක් විෂයෙහි සැලසුම් සහගතව සිදුකළ සයිබර් අපරාධයකි.

වින්දිත තරුණිය වෘත්තියෙන් හෙදියකි. විසි අට හැවිරිදිය. මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහලකට අනුයුක්තව දැන් සේවය කරන්නීය. ඇය මධූ රත්නායකය.

මා දැන් මධූ අභියසය. ඇගේ තියුණු බැල්මේ තමන් පිළිබඳ ඇති විශ්වාසය හා අභිමානයත් වසර ගණනාවක් පුරා තමන් පීඩාවට පත් කළ දරාගත නොහැකි රිදවුමකින් පසු ලද සැනසීමක හැඟීමකුත් ගැබ් වී ඇති බව හැඟිණි. ලෝකය ඉදිරිපිට ඇගේ යැයි කියූ ව්‍යාජ සංස්කරණ සහිතව නැවත නැවතත් පළ කළ නිරුවත් ඡායාරූප පෙළකින් සිය ආත්මය නිරුවත් කර කුඩු පට්ටම් කර දැමූ අශිෂ්ට සාහසිකයකුට එරෙහිව එක පැහැර සටන්කර එවැනි අමනුෂ්‍යයකුට හිමි තැන අධිකරණය නියෝගයකින් ලබා දුන් මේ දිරිමත් යෞවනිය සම්බන්ධව උපදින්නේ ගෞරවයකි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

කිසිම ගැහැනියකට සිදු නොවිය යුතු ඒ නින්දිත අපරාධය පෙළ ගැසුණු ආකාරය සම්බන්ධව ඇයට යළිත් ආවර්ජණය කරන්නට හැර නිහඬව අසා සිටියෙමි.

  • මධූගේ ආවර්ජනය… වියරු පෙම්වතා

“ මගෙ පාසල් ප්‍රේමය… විවිධ ගැටුම් මැද්දෙ 2015දි එය නිමා වුණා. සිද්ධිය පටන් ගන්නෙ එතැනින්. එතකොට මට වයස අවුරුදු 22යි. මේ සම්බන්ධය නිමා වෙලා ටික දවසකට පස්සේ මගෙ ෆෝන් එකෙන් ඔහුට යවපු සාමාන්‍යය ඡායාරූප ඉතාම සාහසික විදිහට නිරුවත් ඡායාරූප විදිහට සංස්කරණය කර ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් හරහා පලවෙන්න පටන් ගත්තා.

මා හොඳින්ම දන්නවා මේ මා නොවෙයි. විටින් විට පලවන මේ ව්‍යාජ සංස්කරණ මම දරාගත්තේ මගෙ හෘද සාක්ෂිය සම්බන්ධව ඇතිවුණු විශ්වාසයත් එක්ක. මම අධ්‍යාපනය නිමා කළා. මගෙ වෘත්තීය ජීවිතය සාර්ථක කරගත්තා. හෙදියක් විදිහට මම රැකියාව කරමින් හිටියා.

ඒත් 2020 දී මට දරාගන්න බැරිවුණ සිද්ධියක් වුණා. මගෙ ෆේස් බුක් ගිණුමේ පලවුණු හෙදියක් ලෙස මගෙ නිල ඇඳුමින් ගත් ඡායාරූප, සාමාන්‍ය ඇඳුමින් ගත් ඡායාරූප සහිතව සංස්කරණය කළ නිරුවත් ඡායාරූප එකවර පළ වෙන්න ගත්තා. මේ ව්‍යාජ ගිණුම හදාගෙන සිටි පුද්ගලයා මගෙ ෆේස් බුක් ගිණුමේ සිටින මිත්‍රයින්, මගෙ නෑදෑයින්, නුවර මගෙ ගමේ අය, වෘත්තීයේ අය විශේෂයෙන් මිතුරු ඉල්ලීම් හරහා එකතු කරගෙන ඒ ගිණුම ඔස්සේ මේ ඡායාරූප පල කරන්න පටන් ගත්තා. ඒ එක්කම මේ තැනැත්තා ඒ සංස්කරණ අසභ්‍ය වෙබ් අඩවිවලටත් එකතු කළා. පෞද්ගලික වට්ස්ඇප් ගෘප්වල සංසරණය කළා.

හෙදියක් ලෙස මගෙ නිල ඇඳුමින් ලබා ගත් ඡායාරූප සමග පලවුණු මේ ඡයාරූප පෙළ ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයකට අයත් ගිණුමක පලවීමත් සමගම ඒවා වයිරල් වුණා. නර්ස් කෙනකුගෙ ෆොටෝ ලීක් වෙලා… එහෙම තමයි කතාව ගියෙ. මේ අපරාධය කරන්නෙ කවුද කියලා මා හොඳින්ම දැනගෙන හිටියා. මගෙ පාසල් ප්‍රේමය. මගෙ සමහර ඡායාරූප තිබුණෙ ඔහු ලඟ. ඒ වනවිට ඔහු මගේ ජීවිතයේ වැදගත් හැම අවස්ථාවක්ම ඉලක්ක කරගෙන මට ප්‍රහාර එල්ල කරමින් හිටියෙ.

ඔහු වෙබ් ඩිවලොපර් කෙනෙක්. තාක්ෂණය ගැන ඉහළම දැනුමක් ඇති කෙනෙක්. ඒ නිසාම ඉතාම සූක්ෂමව සිය තාක්ෂණික දැනුම සහ කාලය යොදවමින් මේ විනාශය කළා. ඔහු කවදාවත් අධිකරණයක් ඉදිරියට නොයනු ඇතැයි විශ්වාසයක් ඔහුට තිබුණා. මගෙ තාත්තා නෑ. අම්මයි මල්ලියි ඉන්නෙ. මල්ලි ඉගෙන ගන්නවා. මට මේ අපරාධයට එරෙහි වෙන්න බෑ කියලත් ඔහු හිතුවා.

  • පළමු පොලිස් පැමිණිල්ල…

මේ සියල්ල එක්ක මට පීඩනය දරා ගන්න බැරි වුණා. ඒ වනවිට කොවිඩ් වසංගතය උත්සන්න වුණු වෙලාව. මා වැඩ කළේ කොරෝනා වාට්ටුවක. රාජකාරි මට්ටමින් පවා විනය පරීක්ෂණ තියන්න සූදානම් වුණා. ගෙදර අය මා නිවැරදියි කියලා දැනගෙන හිටියා. ඒත් අම්මා මේක ගත්තෙ පුදුම වේදනාවකින්. මල්ලි මාත් එක්ක කතා නොකර හිටියා. යාලුවො මාව අත් හැරියා. සමහර ලඟින් හිටපු අය අයුතු ප්‍රයෝජන ගන්න බැලුවා. ඒත් මගෙ වටේ මට ශක්තියක් වෙන්න පිරිසක් ඉතිරි වුණා. මට ආත්ම ශක්තිය ඇති කරගන්න ඒ පිරිස ප්‍රමාණවත් වුණා.

මම ඒ වනවිට රාජකාරි කළේ ඌව පළාතෙ රෝහලක. මුලින්ම ගියේ ළඟම තියන පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. පොලිසිය සැකකරු ගෙන්නුවා. ඒත් ඔහු තමන්ගෙ තාක්ෂණික දැනුම පාවිච්චි කරලා විමර්ශකයින් නොමග යැව්වා. සිද්ධියක සමතයකට පත් වෙන්න කීවා. ඒ ගිහින් නැවත වඩාත් තීව්‍ර විදිහට මේ මනුස්සයා මේ හැසිරීම කරගෙන ගියා.

  • ළමා හා කාන්තා කාර්යාංශයට…

පස්සෙ මගෙ යාලුවකුගෙ මග පෙන්වීම යටතේ ළමා හා කාන්තා කාර්යාංශයට යොමු වුණා. නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්මයා ඒ වනවිට එතැන ප්‍රධානියා. ඔහු මා සහකාර පොලිස් අධිකාරී දර්ශිකා වෙත යොමු කරලා ඇයගේ මග පෙන්වීම මත සමාජ මාධ්‍ය අපරාධ අංශයට යොමු කළා. එම අංශයට ලිඛිත පැමිණිල්ලක් සහ ඊමේල් මගින් පැමිණිල්ලක් කළා.

මේ අතරතුරත් ඔහු ෆේක් එකවුන්ට් ගණනක් හදාගෙන ඡායාරූප පල කරනවා. මඩ ගහන්න බලන් ඉන්න අය මඩ ගහනවා. මේ මානසික පීඩාව සමනයකට පත් කරගන්න වෛද්‍ය උපදෙස් පවා මම ගත්තා. ප්‍රතිකාරවලට යොමු වුණා. ඒ අතරෙ මා නිවැරදි නිසා නීතියෙ පිළිසරණක් ලැබෙයි කියලා තදින් විශ්වාස කළා.

මේ වනවිට සමාජ මාධ්‍ය අපරාධ අංශයේ විශිෂ්ට නිලධාරීන් ෆේස් බුක් සමාගමත් එක්ක සම්බන්ධ වෙලා තොරතුරු අරගෙන, අධිකරණ නියෝග මත දුරකථන සමාගම්වලින් තොරතුරු අරගෙන විශිෂ්ට තාක්ෂණික මෙහෙයුමක් කරලා තිබුණා.

  • දඩය ලක්ෂ 08යි… අවුරුදු එක හමාරක් බරපතල වැඩ ඇතිව හිරේ…

නඩුව ඇහුවේ මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයෙ දි. 2021 දි ඔක්තොම්බර්වලදි අදාල පුද්ගලයා සොයා අත්අඩංගුවට ගත්තා. සමාජ මාධ්‍ය අපරාධ අංශය ඔහුට විරුද්ධව නොබිඳිය හැකි සියලුම තාක්ෂණික සාක්ෂි ගොනු කර තිබුණා. සති දෙකක් රිමාන්ඩ් කර ඇප මත සැකකරු නිදහස් කළා.

යළි මාස හයකට පසු නඩුව කැඳවනු ලැබුවෙ පසුගිය පෙබරවාරි 21. එක නඩුවාරයයි කැඳවනු ලැබුවේ. එදින මහියංගනය මහේස්ත්‍රාත්වරයා වරදකරුට ලක්ෂ අටක වන්දියක් ගෙවන්න නියම කළා. ඔහුව වසර එක හමාරක් බරපතල වැඩ සහිතව දණ්ඩනයට නියම වුණා.“

  • හිරේ විලංගුවේ වැටෙන්න බලන් කුපාඩිකම් කරන්න…

ඇය කතාව මොහොතකට නිමා කළාය. අනතුරුව පැනෙන අතුරු කතා බොහෝය. ඇය කියන සියල්ලේ සංක්ෂිතය මෙසේය. සයිබර් අවකාශය තුළ අශීලාචාර අනීතික හැසිරීම් කරන සියලුම අශිෂ්ටයන්ට කියන්නට ඇත්තේ දැන් ඒ අපරාධී හැසිරිම් කරනවා නම් හිරේ විලංගුවේ වැටී වන්දිත් ගෙවීමට බලාගෙන කරන ලෙසය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය බෙහෙවින්ම දියුණුය. එහි ඉන්නේ ඔය ඔස්තාර්ලා යැයි සිතා ඉන්නා පිරිසට වැඩි තාක්ෂණකි දැනුමක් සහ අපරාධ ඉවක් සහිත නිලධාරීන්ය. ඔවුන් සිය වෘත්තිය වෙනුවෙන් කොන්දේසි නැතිව කැපවීමට සූදානම්ය.

 මෙවැනි අපරාධයක දී එවැනි චූදිතයෙකුට එරෙහිව ක්‍රියාත්මක වීමට ප්‍රමාණවත් නෛතික ප්‍රතිපාදන තිබේ. දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286, 345 සහ 372 වගන්ති ප්‍රකාරව අපරාධ කරුවෙක් නීතිය ඉදිරියට පැමිණවිය හැකිය. 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනත යටතෙ නඩු පැවරිය හැකිය. ලංකාවේ එවැනි වරදකට වරදකරුවෙක් වන අයකුට නීතිය ඉදිරියෙදි 2015 හිමිකම් ආරක්ෂා කිරීමේ පනතේ 28 වැනි වගන්තිය යටතේ ලක්ෂ 10කට නොවැඩි වන්දියක් ඉල්ලා සිටිය හැකිය.

“ඔබ මෙවැනි අපරාධයක වින්දිතයෙක් නම් කරුණා කරලා වෘත්තිකයන්ගෙන් පමණක් උපදෙස් ගන්න. නීතිය ඉදිරියට යන්න. මානසිකව නොවැටි මේ සිදුවීම්වලට වඩා දෙයක් වෙන්න ගිහින් ඔබ බේරුණා කියලා හිතන්න. ඔබේම පෞද්ගලික ඡායාරූපයක්ම වුණත් ඔබේ අවසරයකින් අනුදැනුමකික් තොරව කිසිවකුට අවභාවිත කරන්න බෑ. එය නීතියෙන් බරපතල වරදක්.“

“ඔබට අවශ්‍ය ඔබ වෙනුවෙන් පෙනී සිටීමට ආත්ම විශ්වාසය පමණයි. කිසි කෙනකුට තමන්ගෙ ජීවිතය කඩා කප්පල් කිරීමට නම් ඉඩ දෙන්න එපා. ලංකාවෙ මිනිස්සුන්ගේ ආකල්පවල ප්‍රශ්න තිබුණත්  අප වෙනුවෙන් පෙනී ඉන්න අතළොස්සක් හරි ඉන්නවා. ජීවිතයට ඒ ඇති.“ මධූ එසේ කීවාය.

  • විමර්ශකයෙක් කී කතාව

සමාජ මාධ්‍ය අපරාධ අංශය. තාක්ෂණය සම්බන්ධ විමර්ශන අංශයකි. මධූ වින්දිතයෙක් වූ අපරාධයේ ප්‍රධාන විමර්ශකයෙක් හා සම්බන්ධ වුණෙමි.

“ මේ වගේ අපරාධයකදි අපට තිබෙන ලොකුම ගැටලුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවන තොරතුරුවල ග්‍රාහක තොරතුරු ලබා ගැනීම. ෆේස් බුක් ගිණුමක් අපට ෆේස් බුක් ආයතනයට කතා කරලා අයින් කරන්න පුලුවන්. එහෙත් අවශ්‍ය ග්‍රාහක තොරතුරු ලබා ගැනීම අමාරුයි. මේ ගැන දන්න නිසා සයිබර් අපරාධ කරුවො තමන් අවදානමක ඉන්නවා කියලා විශ්වාස කරන්නෙ නෑ,. මේ සිද්ධියෙදිත් අවස්ථා කීපයක දී විවිධ ෆේස් බුක් ගිණුම් අත්හිටුවීමට කටයුතු කළා. දිගින් දිගටම මේ සිද්ධිය වෙනකොට අපි අන්තර්ජාතික අනුමිතීන්ට අනුව ෆේස් බුක් ආයතනය එක්ක සම්බන්ධ වුණා.“

“ ලංකාව 2015 දි බුඩාපෙස්ට් සම්මුතියට (Budapest Convention) අත්සන් කරලා තියෙන්නෙ. එතැනදි අන්තර්ජාතික වශයෙන් අන්තර්ජාල අපරාධ සම්බන්ධව තොරතුරු හුවමාරු කරගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් ෆේස් බුක් වගේ පෞද්ගලික ආයතනයක් බැඳී නෑ තොරතුරු දෙන්න. නමුත් මානුෂීය කරුණු විමර්ශන  සහ අන්තර්ජාතික සම්මුතින් අනුව අදාල ෆේස් බුක් සමාගමේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළා.“

දැන් සිඅයිඩි එකට හැකියාව තිබෙනවා අපරාධ කරුණක් සම්බන්ධව අදාල ඡායාරූපය හෝ වීඩියෝ දර්ශනය හෝ පල කළ ෆේස් බුක් ගිණුමට අදාලව ග්‍රාහක තොරතුරු එම ආයතනයෙන් ලබා ගන්න. ඒ අනුව තමයි මේ විමර්ශනය සිද්ධ වෙන්නේ. මොකද මේ අපරාධය කළ පුද්ගලයා තාක්ෂණය ඉතාම හොඳින් දන්න කෙනෙක්. ඔහුගේ ව්‍යාජ ගිණුම සහ වින්දිතයාගේ සැබෑ ගිණුම සොයා ගන්න ෆේස් බුක් ආයතනයටත් අපහසුවන තරමට ඔහු සූක්ෂමව තිබුණා.

මෙවැනි අපරාධයක වින්දිතයෙක් වන ඕනෑම කෙනෙක් කරුණාකරලා නීතිය ඉදිරියට යන්න. ඕනෑම අපරාධයක් හඹා යන්න හැකි නිලධාරීන් පොලිසියෙ ඉන්නවා. තාක්ෂණයත් පොලිසිය සතුව තිබෙනවා. මේ වගේ අපරාධයක වින්දිතයෙක් වුණොත්  ළඟම පොලිසියට ගොස් පැමිණිලි කරන්න. නැතිනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කරන්න පුලුවන්. ළමයෙක් හෝ කාන්තාවක් නම් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරන්න පුලුවන්. මොන ආකාරයෙන් පැමිණිලි කළත් වින්දිතයාට සාධාරණය ඉෂ්ට කරන්න ශ්‍රී ලංකා පොලිසියට හැකියි.“ ඔහු කියන්නේ විශ්වාසයෙනි.

මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න මහතාගේ උපදෙස් පරිදි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රන්දෙණිය මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරී ජයනෙත්සිරි මහතාගේ උපදෙස් පරිදි සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් සිදුකරන කර තිබිණි.

  • නීතිඥවරියගේ අත්දැකීම

ජ්‍යෙෂ්ඨ නීතීඥ ඔෂාන් ටී උබයරත්නගේ උපදෙස් මත මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ තනූජා නිමාලි රාමනායකය.

“මා ඉදිරිපත් වුණේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ යුතු හැමදේම සිදුකරලා තිබුණා. ඇප ගන්න අවස්ථාව ඉඳලා චූදිතයා පිළිඅරන් තිබුණා ඔහු වැරදි කාරයා කියලා. චෝදනා පත්‍රය උසාවියෙදි කියවලා දුන්නා. ඔහු වැරැද්ද පිළිගත්තා. මගේ භූමිකාව තිබුණෙ ඉන් පස්සේ.

ඇයට වුණු හානියක කවදාවත් මුදලින් තක්සේරු කරන්න බෑ. ඒ නිසා 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීම සහ ආරක්ෂා කිරීමේ පනතේ 28/1 වගන්තියෙන් ඉල්ලීමක් කළා අධිකරණයට ඉදිරිපත් කළ හැකි උපරිම වන්දි මුදල මගේ සේවා දායකයාට ලබා දෙන්න. අධිකරණයට නියෝග කළ හැකි උපරිම වන්දි මුදල ලක්ෂ 10යි. එඉන් ලක්ෂ 08ක වන්දියක් ලබා දුන්නා. චූදිතයා වසර එක හමාරකට බරපතල වැඩ සහිතව දණ්ඩනයට ලක් වුණා

කාට හරි මෙහෙම අසාධාරණයක් වෙනවා නම් ජීවිතය ගැන වැරදි තීරණයක් ගන්න එපා. ගැහැනු විදිහට අපි ශක්තිමත්. නිවැරදිබව ඔප්පු කරන්න ඕන තරම් නීතියෙන් අවස්ථාව තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුවෙන් සම්පූර්ණ සහාය දක්වනවා.කෙනෙකුට මුදලට නීතිඥ සහාය ගන්න බැරි නම් නීති ආධාර කොමිසම තිබෙනවා. පිරිසුදු දෑතින් එන කෙනා පැත්තෙ නීතිය ඉන්නවා”. නීතඥ තනූජා නිමාලි රාමනායක කියන්නීය.

  •  මේ නඩු තීන්දුව ඓතිහාසිකයි – හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

මෙම නඩුව ගොනුවන විට ළමා හා කාන්තා කාර්යාංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රියන්ත ජයකොඩිය. ඔහු අවසාන වශයෙන් අපට කියන්නේ මේ කතාවය.

“බොහෝ විට සමහර අය හිතනවා සයිබර් අවකාශය තමන්ට ඕනෑ විදිහට භාවිත කරන්න පුලුවන් කියලා. ඕනෑම මාධ්‍යයක් භාවිත කර කෙනෙක් හිංසනයට ලක් කිරීම, අපහසුතාවට, අවමානයට ලක් කරන ආකාරයකට පාවිච්චි කරන්න බෑ. ඒක සමස්ථ මාධ්‍යයටම පොදු නීතියක්. එය මාධ්‍ය ශික්ෂණයක් සහිත මාධ්‍යවේදීන් සමාජයට වඩා හොඳින් දන්නවා. එසේ නොවන පිරිසක් සමාජ මාධ්‍ය ජලා තුළ වෙබ් අඩෙවි තුළ කරන විනාශය අපවත් කම්පනයට පත් කරන සුළුයි.

ඒ අර්ථයෙන් මේක විශිෂ්ට නඩු තීන්දුවක් . සමාජ මාධ්‍යවල පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය විනාශ කරන ආකාරය වළක්වා ගන්න මේ නඩු තීන්දුව ඉවහල් වේවි. රුපියල් ලක්ෂ 08ක් වන්දියක් සහ වසර එක හමාරක සිර දඬුවමක් සුලුපටු දණ්නයක් නොවේ.

දැන් මේ සමාජ මාධ්‍ය අවභාවිත කරන අශීලාචාර පුද්ගලයින්ට මා මේ පණිවිඩය දිය යුතුයි. අමෙරිකානු ආධාර යටතේ ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ පරිගණක මෙහෙයුම් පද්ධතියක් පැය 24 පුරාම දැන් ක්‍රියාත්මකයි. ඒ ඔස්සේ පැය 24 පුරාම ඔවුන් සයිබර් අවකාශය නිරීක්ෂණය කරනවා. ළමයින්ට හා කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩතවය, ලිංගික හිංසනය හැම තත්පරයකම නිරීක්ෂණය වෙනවා. පුරුද්දක් ලෙස මේ අපාධ කරන අයට ලැබෙන මුල්ම අවස්ථාවෙදි නීතිය ක්‍රියාත්මක කරනවා. එනිසා සයිබර් අවකාශය පරෙස්සමෙන් පරිහරණය කරන්න.“

එය හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා දෙන අවවාදයකි.

අපටත් කියන්නට ඇත්තේ එයමය. අශීලාචාර අර්ධ මිනිසුනි. කරුණාකර පරෙස්සම් වෙන්න. ඔබ වෙනුවෙන් සිර ගෙවල් සූදානමින් තිබේ.

සිළුමිණ-

Tags: නවතම
Share69Tweet43
Previous Post

උස පැනීමෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්… උෂාන් සිය වාර්තාව අලුත් කරයි!

Next Post

නිල මාර්ගවලින්  එන ඩොලර්වල සියයට 61ක අඩු වීමක් !

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.