සූරියවැව නුවන් ජයසේකර –
රික්ටර් මාපකය 4.4ක භූ කම්පණ තත්වයක් අද (24) අළුයම 12.45ට පමණ හම්බන්තොට මුහුදු වෙරළට කිලෝ මීටර් 25.8ක් ඔබ්බෙන් වු මුහුදු තීරයේ සිදු වු බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය කීවේය.
මෙය සුළු භූ කම්පණ තත්වයක් බවත් මේ හේතුවෙන් කිසිදු සුනාමි තත්වයක් ඇති වීමේ අවදානමක් නොමැති බවත් මෙම තත්වයට බිය වීමට කිසිදු හේතුවක් නොමැති බවත් ඔවුහු කීහ.
කෙසේ වෙතත් මෙම භූ කම්පණය අම්බලන්තොට රොටවල, මානජ්ජාව, මල්පෙත්තාව, වැලිපටන්විල, දෙහිගහලන්ද, උස්සන්ගොඩ ඇතුළු අවට ප්‍රදේශ රැසකට හොදන් දැනුණු බව ජනතාව පැවසූහ.
අම්බලන්තොට පදිංචි නන්දසිරි ගම්හේවා මෙලෙස පැවසිය.
මම නිදා ගන්න යනතොට වෙලාව රෑ 11ට විතර ඇති. මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක නිදාගන්න ඇඳට ගිහින් හිටියත් නින්ද ගියේ නෑ. කොහොම හරි අළුයම 12.40ට විතර යන්තම් ඇස් පියවීගෙන එනවත් එක්කම වගේ එක සැරේම වහල හෙළවෙනවා වගේ දැනුණා. මම ඉන්න ඇඳත් නිකන් පාවෙනව වගෙයි මට දැනුනේ.
මම ඉක්මනින් ඇඳෙන් නැගිටලා පුතාට කතා කළා. පුතාත් දුවගෙන කාමරේට ඇවිත් කිව්වා තාත්තේ මොකක් හරි වුණා නේද කියලා ඇහුවේ. උනේ මොකද්ද කියන්න අපිට තේරුමක් තිබුනේ නෑ. ඒ වෙලාවෙම තරමක් පහතින් ප්ලේන් එකකුත් ගියා. අපි හිතුවා ඒකේ සද්දෙට මොකක් හරි වෙන්න ඇති කියලා. උදේ තමයි දන්නේ භූ කම්පනයක් වෙලා කියලා යැයි පැවසීය.
මානජ්ජාව පදිංචි රේණුකා රාමනායක ඇගේ අත්දැකීම අපට කීවාය.
“මම ගෙදර වැඩ ඉවර වෙලා නිදාගෙන හිටියේ. පාන්දර 12.45ට විතර එක සැරේම නිදන් හිටපු ඇඳ පාවෙනව වගේ මට දැනුනා. ඒත් එක්කම වහල දෙදරලා ගියා. මං නැගිටලා බැලුවට කිසිදු වෙනසක් දකින්න තිබුණේ නෑ. අපි ගෙදර අය සද්දේ නැතුව ගිහින් නිදා ගත්තා. උදේ නැගිටලා බලනකොට වටේම ගෙවල් වලටත් මේක හොඳට දැනිලා. දවල් වෙනකොට දැනගත්තේ භූ කම්පණයක් ඇති වෙලා කියලා.
උස්සන්ගොට පදිංචි ශාන්ත පරණමානත් සිය අත්දැකීම කීවේය.
මම පදිංචි වෙලා ඉන්නේ උස්සන්ගොඩ. මුහුදට කිලෝ මිටර් භාගයක් වගේ තියෙන්නේ. මගේ මතකයේ හැටියට පාන්දර 12.30 පහුවෙලා. මම නිදාගෙන හිටියේ. එක සැරේම මොකද්ද වුණා වගේ දැනුනා.මං හිතුවේ ඇදේ කකුල් කැඩිලා වැටුනා කියලයි. වහලත් එකසැරේම දෙදරලා ගියා. මට හිතාගන්න බැරි වුණා මොකදද් වුනේ කියලා. තප්පරගානක් යනකොට ඔක්කොම ඉවරයි.
භූ කම්පනය ගැන ඔවුහු එසේ පැවසූහ.