දින හතරක් ළිඳක සිරවී මිය ගිය මොරොක්කෝවේ පස් හැවිරිදි පුංචි එකා, “පුංචි රයන්” ට අවසන් ගෞරව දැක්වීමට මොරොක්කෝ වැසියන් සිය ගණනක් රැස්ව සිටිති.
රයන් ඕරම් පෙබරවාරි 1 වන දින මීටර් 32 (අඩි 104) ගැඹුරු ළඳකට ඇදවැටුණේය. මොරොක්කෝවේ සහන කණ්ඩායම් ඔහු බේරා ගැනීමට දැඩි උත්සාහයක් දැරීය.
ගලවා ගැනීමේ උත්සාහය ලොව පුරා මාධ්‍ය අවධානය දිනා ගත්තේය. එහෙත් අවසානයේ දී ඒ සියලු ප්‍රාර්ථනා උඩු සුලඟේ ගසාගෙන ගියේය.
සෙනසුරාදා සවස පුංචි දරුවා ළිඳෙන් ගොඩට ගන්නා විට, ගලවා ගැනීමේ මෙහෙයුම දකිමින් ළිඳ අසල සිටි පිරිස අප්‍රමාණ ප්‍රමෝදයෙන් ප්‍රීති ඝෝෂා කළහ.
නමුත් එම ප්‍රීති ඝෝෂාව මහා කම්පනයක් බවට පත් වූයේ මිනිත්තු කිහිපයකට පසුය. ඒ දැරුවා බේරා ගැනීමට තමන් ප්‍රමාද වූ බව ගලවා ගැනීමේ හමුදා ප්‍රකාශයට පත් කිරීමත් සමගිනි.
අද පැවති ඔහුගේ අවමංගල්‍ය උත්සවයට ඔහුගේ ගම් පියසවෙත ශෝකවන්නන් සිය ගණනක් එක් වී සිටියහ.
උතුරු රිෆ් කඳුකරයේ කඳු මුදුනේ සුසාන භූමියට සහ යාඥා භූමියට ඇතුළුවිය නොහැකි තරම් විශාල මිනිස්සු පිරිසක් එක් වී උන්හ.
“මට වයස අවුරුදු 50 ට වැඩියි. අවමංගල්‍ය උත්සවයකදී මෙතරම් සෙනඟක් කවදාවත් දැකලා නැහැ. රයන් අපි හැමෝගෙම පුතා” යැයි එක් ගම්වැසියෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි.
ගලවා ගැනීමේ මෙහෙයුම ලොව පුරා නරඹා තිබිණි. මරණය ප්‍රකාශ කිරීමෙන් ඉක්බිතිව, ලොව වටින් ශෝක පණිවුඩ ගලාගෙන ආවේය.
#SaveRayan හැෂ් ටැගය රැල්ලක් බවට පත් විය. සමාජ මාධ්‍යවල, මිනිසුන් ඔවුන්ගේ අනුකම්පාව සහ කණගාටුව ප්‍රකාශ කළහ.
මොරොක්කෝවේ හයවන මොහොමඩ් රජු පිරිමි ළමයාගේ දෙමාපියන් අමතා ඔවුන්ට සිය බලවත් ශෝකය ප්‍රකාශ කළේය. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය කණගාටුව ප්‍රකාශ කරමින්, “දරුවෙකු බේරා ගැනීම සඳහා මිනිසුන් එක්ව ක්‍රියා කළ” “ලස්සන” ආකාරය පිළිබඳ ප්‍රශංසා කළහ.
ඊයේ (06) කැමරූන් හි පැවති අප්‍රිකානු ජාතීන්ගේ කුසලාන අවසන් මහා තරඟයේ ක්‍රීඩකයින් සහ රසිකයින් රයන් සිහිකර වශයෙන් මොහොතක නිශ්ශබ්දතාවයක් පැවැත්වූහ.
සෙනසුරාදා සවස ප්‍රාණය නිරුද්ධ රයන්ගේ සිරුර දකිමින් ඔහුගේ පියා මෙසේ පැවසුවේය.
“උතුම් රජතුමාට, බලධාරීන්ට සහ අපට උදව් කළ සැමට අපි ස්තූතිවන්ත වෙමු. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න, මළවුන්ට අනුකම්පා කරන්න.”