ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි බස්රථ රියදුරන් සේ සේවය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩාකළ අන්තර්ජාතික විශිෂ්ඨත්වයට පත් වූ ක්‍රීඩකයින් දෙදෙනෙක් සම්බන්ධව යළිත් අන්තර්ජාතික මාධ්‍ය තුළ කථිකාවක් ඇති වී තිබේ.
ඒ දැන් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයත් සමගිනි. පසුගිය වසරේ මාර්තුවේ දීත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සුරාජ් රන්දීව් සහ චින්තක ජයසිංහ ගැන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නිවුස් 9 වෙබ් අඩවිය වාර්තා කළේය. එම වාර්තාව ලෝකය පුරා සංසර්ණය විය.
යළිත් සතියක පමණ සිට අන්තර්ජාතික මධ්‍ය තුළ සුරාජ් සහ චින්තක ගැන කථිකාවක් ගොඩ නැගී තිබිණි. ඒ මේ රටේ බිඳවැටෙන ආර්ථිකය හා පීඩිත ජන ජීවිතය සමග අවධානය ද සමගිනි.
සුරාජ් රන්දිව් ලංකාවේ සිටි බලාපොරොත්තු සහගත දඟපන්දු යවන්නෙක් වූ අතීතයක් තිබිණි. ඔහු වර්ෂ 2009 -2016 ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළේය. ඔහු 2011 ලෝක ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය. අනුශූරතාවය දිනූ කණ්ඩායමේ ක්‍රීඩකයෙක් විය.
රන්දිව් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් මුහුණ දුන් අවසන් තරගය වූයේ වර්ෂ 2016 ජූනි 24 එංගලන්තය සමග පැවති එක් දින ජාත්‍යාන්තර තරගය ය. අඩි 6යි අඟල් 2ක් උස මේ දකුණත් ඕෆ්බ්‍රේක් පන්දු යවන්නා ටෙස්ට් තරග 12කට සහභාගී වී කඩුළු 43ක් ලැබුවේය. එක්දින තරග 31ක් සඳහා ලංකාව නියෝජනය කර කඩුළු 36ක් දවා ගත්තේය. විස්සයි 20 තරග 7ක දී කඩුළු 07ක් ලැබීය.
කුමක් හෝ දෛවෝපගත සිදුවීමක් නිසා ඔහු අද විදේශයක බස්රථ රියදුරෙකි.
චින්තක ජයසිංහත් එසේය. ඔහු දකුණත් පිතිකරුවෙකි. ප්‍රවේගකාරී පිතිකරණය යෙදෙන්නෙකි. එසේම දකුණත් මදවේග පන්දු යැවීම ප්‍රගුණ කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.
ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ විස්සයි 20 තරග වෙනුවෙනි. අන්තර්ජාතික තරග 05ක් සඳහා ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජන කළේය. ඔහුත් සුරාජ් සමග මෙල්බර්න්හි බස් රථ රියදුරු සේවයේ ය.
ඔවුන් දෙදෙනා සමඟ එම සමාගමේම බස් රථයක් පදවාගෙන යන හිටපු සිම්බාබ්වේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් ද වේ. ඔහු Waddington Mwayenga ය. ඔවුන් තිදෙනාම Transdev ප්‍රවාහන සමාගමේ සේවය කරති. එම සමාගම මෙල්බර්න් ජනතාවට ප්‍රවාහන සේවා සපයන සේවකයින් 1,200 කට වඩා සේවය කරන පුලුල් සමාගමකි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් ස්වකීය රැකියාවෙන් තෘප්තිමත් බවය. ඔවුන් තවමත් ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීගයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් එම මාධ්‍ය පවසයි. මේ රැකියාව අතරේත් ඔවුහු නිතිපතා පුහුණුවීම් කරති. ඒ නැවතත් ක්‍රිකට් වරම් ලබා ගැනීමට අභිලාෂයෙනි.
විදෙස් මාධ්‍ය පවසන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටී රජය අයාලේ යන තත්ත්වයකට පත් වී ඇති බවය. රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා පුරවැසි අරගලයක් හටගෙන ඇති බවය. මෙම ක්‍රීඩකයින් දෙපළ රට හැර පැමිණ ඇත්තේ මේ ආර්ථික අර්බුදය රටේ හටගන්නට පෙරය.
“මෙම ක්‍රිකට් ක්‍රීඩකයින් රට හැර ගොස් විදේශ රටක වෙනත් රැකියාවකට යාමට තීරණය කළේ කවදාදැයි අප දන්නේ නැත. එහෙත් ලංකාව බරපතල ආර්ථික අර්බුදයක ගිලී ගොස්ය.“ cartoq.com වෙබ් අඩවිය වාර්තා කරන්නේ එසේය.
ඔස්ට්‍රේලියානු ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ බස් රථයේ රියදුරු අසුනේ ඕනෑම ප්‍රසිද්ධ ජනප්‍රිය පුද්ගලයෙක් සිටිය හැකි බවය. සුරාජ් සහ චින්තක උදාහරණය.