ජානක ලියනආරච්චි –
වසන්ත කරන්නාගොඩ යනු මේ රටේ වීරයෙක් කළ චරිතයකි. මිනිසුන් විසින් ගෞරවනීය තැනක තබා ඔහුට තවමත් සැලියුට් ගසමින් සිටින්නේය. එහෙත් ඔහුගේ ගෞරවනීය සෙන්පතිකම අද රෙදි පල්ලෙන් බේරුණේය. ඒ සිය නම ඉදිරියේ සඳහන් කරන “අද්මිරාල් ඔෆ් ද ෆීලීට්” පදවියට උචිත රාජකාරි පෞරුෂයක් ඔහුට තිබුණේ දැයි රට ඉදිරියේ ප්‍රශ්න කරමිනි.
ඔහු ගොඩ ගියේ ඔහු වටා සිටිමින් ඔහුව දක්කාගෙන ගිය, දැක්මක්, පෞරුෂයක් සහිත නිලධාරී ඇනියක විශිෂ්ඨත්වය නිසා මිස වෙන යමක් නිසා නොවන බව දැන් සාධාරණව අපට හිතෙන්නේය. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට තිබූ අනන්‍යතා නායකත්වය ගුණය මේ හාදයාට තිබුණා නම් ඒ තිබුණේ කොතැන දැයි අද අධිකරණයේ අනාවරණය වූ කරුණු ප්‍රශ්න කරන බව කිව යුතුය.
මේ සිද්ධිය පෙළ ගැසෙන්නේ අද උදේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත් අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ දහවල් 1.45ට පමණ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසුය. අද අනාවරණය වූයේ යෝෂිත රාජපක්ෂ නැමැති ජනාධිපති පුතාගේ ගැටලුවකට වඩා ඒ හුජ්ජ කොල්ලා වෙනුවෙන් ගෞරවණීය හමුදාවක, පෞරුෂය අවලෙමේ යැවූ නාවික හමුදාපතිවරයෙකුගේ හිඟන මනෝ භාවය බව විශ්වාස කරමි.
අධිකරණයේ හෙළි වූ කතාව
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේ එහි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් රුවිනි වික්‍රමසිංහය. වර්ෂ 2006වන විට මේ රටේ විධායක ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගෙන “රජතුමා” සතුටු කිරිම වෙනුවෙන් නාවික හමුදාවක සම්ප්රදාය පාවා දුන් සට්ටැඹී නාවික හමුදාපතිවරයෙකුගේ දීන ගර්හිත භාවය මෙම නඩු කටයුත්තේ පළමු අදියරේදීම රටට ප්‍රකාශ විය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නියෝජ්‍ය අධ්යක්ෂ රුවිනි වික්‍රමසිංහ අධිකරණයට කරුණු ගොනු කළ ආකාරය පමණක් වාර්තා කරමින් නවතිමු. සබුද්ධිකව සිද්ධිය විමසන ලෙස පමණක් ඔබට ඇරයුම් කරමු.
නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීම ආරම්භ කළේ මෙලෙසය. ඒ මොහොතේ යෝෂිත රාජපක්ෂ සිටියේ විත්ති කූඩුව මතය.
” ස්වාමීනි… මේ සිද්ධිය සම්බන්ධව පැමිණිල්ල ලැබෙන්නේ 2016 ජූනි මස 25 වැනිදා. ඒ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශන කටයුතු ආරම්භ කරනවා. අධ්‍යාපන සුදුසුකම් ඇති ඉල්ලුම්කරුවන්ට අවස්ථාව නොදී එංගලන්තයේ හා යුක්රේනයේ පැවැත්වෙන නාවික හමුදා පුහුණු වැඩසටහන් සඳහා රජයේ මුදල් අවභාවිතා කරමින් සකකරු සහභාගී වී ඇති බව පැමිණිල්ලේ සඳහන් වෙනවා.”
“ස්වාමීනි… මේ විත්ති කූඩුවේ සිටින සිවිල් පුරවැසියා 2006 වසරේත් සිවිල් පුරවැසියෙක් ලෙස සිටින විටදිමයි බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික විද්‍යාලයේ රෝයල් නේවි යං ඔෆිසස් පුහුණුව ලැබීමට සිදුසු බව තීරණය කර තිබෙන්නේ.
මේ පුහුණුව ලැබීමට ඇති අවස්ථාව ඉතා සීමිතයි ස්වාමීනි. මේ ගෞරවනීය පාඨමාලාව හැදෑරීමට ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියෙකු ලෙස වසර දෙකක පුහුණුව සිදුවන කාල සීමාවේ දක්ෂතම ශිෂ්‍ය භට නිලධාරියා වීම හෝ පාඨමාලාව අතරතුර ශිෂ්‍ය භට නිලධාරීන් පෙන්වන දක්ෂතා මත තෝරා ගැනීම සිද්ධ වෙනවා. ”
“නමුත් මෙම සැකකාර යෝෂිත රාජපක්ෂ 2006 වසරේ සිවිල් පුරවැසියෙක් ලෙස සිටියදීම මෙම පාඨමාලාවට සුදුසු බවට යෝජනා කරමින් නාම ලේඛනයට නම ඇතුළත් කරමින් ලහි ලහියේ එම පාඨමාලාවට යැවීමට කටයුතු කරලා තියනවා.”
බඳවා ගැනීමේ සුදුසුකම් වෙනස් කිරීම
“නාවික හමුදාවේ විධායක අංශ සඳහා අයදුම් කිරීමේ දී සපුරා තිබිය යුතු සුදුසුකම් සැකකරු බඳවා ගැනීමේ අවශ්‍යතාවය මත වෙනස් කර ඇති බව ද මෙහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
” ස්වාමීනි. සැකකරු 2006 වසරේ කලා අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දී තිබෙනවා. නාවික හමුදාවේ විධායක අංශ සඳහා අයදුම් කිරීමේ දී අවම සුදුසුකම ලෙස අපොස සාමාන්‍ය පෙළ විභාගය ගණිතය, සිංහල, විද්‍යාව, ඉංග්‍රීසි ඇතුළුව විෂයයන් 06ක් සම්මාන සාමාර්ථ ඇතුව සමත් වී, අපොස උසස් පෙළ විභාගය ගණිතය හෝ විද්‍යා විෂයන්ගෙන් සමත් වී තිබිය යුතුයි. ”
” මෙම විධායක ශ්‍රේණි සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගන්නා බවට 2006 වසරේ ඔක්තොම්බර් 15 සහ 22 පුවත්පත් දැන්වීම පල කර තිබෙනවා. ඒ අනුව සැකකරු බඳවා ගැනීමේ අවශ්‍යතාවය මත විද්‍යා, ගණිත, කලා යන ඕනෑම අංශයකින් විෂයයන් 02ක් පමණක් සමත් වී තිබීම ප්‍රමාණවත් බවට බඳවා ගැනීමේ සුදුසුකම් වෙනස් කරමින් අදාල පුවත්පත් දැන්වීම පල කර තිබෙනවා.”
නේවි එකට බඳවා ගන්නටත් පෙර බ්‍රිතාන්‍ය පුහුණුවට තෝරගෙන
නියෝජ්‍ය අධ්යක්ෂ ජනෙරාල් රුවිනි වික්‍රමසිංහ කියා සිටියේ සැකකාර යෝෂිත රාජපක්ෂ නාවික හමුදා නිලධාරියෙක් ලෙස බඳවා ගැනීමටත් පෙර බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුව සඳහා පිටත්ව යෑමට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සඳහා මුහුණ දී ඇති බවය. ඇය මෙසේ කරුණු දැක්වූවාය.
” ස්වාමීනි… බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික විද්‍යාලයේ රෝයල් නේවි යං ඔෆිසර් පුහුණුව සඳහා යෑමට පෙර වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දිය යුතුයි. මොහු මෙම වෛද්‍ය පරීක්ෂණයට අදාලව රුධිර පරීක්ෂාව සිදු කර තිබෙන්නේ 2006 දෙසැම්බර් 06 වැනිදායි. නමුත් මොහු ඇතුළු නිලධාරීන් 26 දෙනෙක් නාවික හමුදාවට බඳවා ගැනීම සිදුකරන්නේ 2006 දෙසැම්බර් 14/15 යන දින දෙක තුළයි. මොහු නාවික හමුදාවට බඳවා ගැනීමටත් පෙර පුහුණුව සඳහා පිටත්ව යෑමට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී ඉඳලා..”
” මෙම සැකකරු හා බඳවා ගත් නිලධාරීන් 26 දෙනා ත්‍රිකුණාමලය නාවික හමුදා පුහුණුවකට 2006 දෙසැම්බර් 29 දා ගොස් තිබෙනවා. මේ සැකකරුව ඒ පුහුණුව සම්පූර්ණ නොකර කොළඹට එවනවා. සැකකරු බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික විද්යාළයේ රෝයල් නේවි යං ඔෆිසස් පුහුණු සඳහා තමා පැමිණ තිබෙන්නේ. 2007 ජනවාරි 07 වැනිදා සැකකරු පුහුණුව සඳහා පිටව ගොස් තිබෙනවා.”
එංගලන්තේ යැව්වේ ශිෂ්‍යත්වයකින් නෙමෙයි… ජනතා බදු මුදලින්..
බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුව උදෙසා ශිෂ්‍යත්වයක් මත මේ නිලධාරීන් ගොස් අති බව චෝදනා කරන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරිය පැවසුවේ පළමු වරට සැකකරු පමණක් රජයේ මුදල් ලක්ෂ 62කට අධික ප්‍රමාණයක් වැය කරමින් අදාල පාඨමාලාවට පිටත් කර ඇති බවය.
” ස්වාමීනි… 1995 සිට 2010 දක්වා මෙම පාඨමාලාවට නිලධාරීන් යවා තිබෙන්නේ ශිෂ්‍යත්වයක් මත. නමුත් මෙම සැකකරුව මෙම පාඨමාලාවට යැවීමට ශ්‍රි ලංකා රජයෙන් රුපියල් පනස් හතර ලක්ෂයකට අධික මුදලක් වැය කරලා. ඔහුග් පුද්ගලික වියදමට රුපියල් ලක්ෂ 08කට වැඩි මුදලක් වැය කර තිබෙනවා.”
” ඒ අනුව ස්වාමීනී… මේ සැකකරුව පාඨමාලාවට යැවීමට රජයට හැට දෙලක්ෂයකට ආසන්න මුදලක් වියදම් කරලා. මේ ක්‍රියාවෙන් ශ්‍රී ලංකා රජයට පාඩුවක් සිදුවී තිබෙන්නේ ස්වාමීනී….”
කරන්නාගොඩ කුජීතයි
මේ ක්‍රියාව එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ සැකකාර යෝෂිත රාජපක්ෂ යන දෙදෙනා එක්ව කරන ලද කුමන්ත්‍රණයක් බව ද නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරිය අවධාරණය කළාය.
” එවකට හිටපු නාවික හමුදාපති වසත් කරන්නාගොඩ සහ සැකකරු සති දෙකක් වැනි කුඩා කාලයක් තුළ මෙලෙස කුමන්ත්‍රණය කර රජයකට රුපියල් ලක්ෂ 62කට අධික පාඩුවක් සිදුකරලා. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සේ සැකකරුට අයුතු ලාභයක්, වාසියක් ලබා දීමට චේතනාන්විතව කටයුතු කරලා. ඒ අනුව අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ සැකකරු මේ ක්‍රියාවෙන් දූෂණය නැමැති වරදක් කර තිබෙනවා.”
සැකකරු වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්ය. ඔහු සඳහන් කළේ ඇප පනතේ 14 වැනි වගන්තියට අනුව සැකකරුව සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසය.
කරුණු සලකා බැලූ අතිරේක මෙහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළේය. නඩුව අගොස්තු 04 වැනිදා යළි කැඳවීමට නියමිතය.








