දිනසේන රතුගමගේ –
යුද සමයේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් වැදගත් සාකච්ඡා පවත්වන ලද කිළිනොච්චියේ වට්ටකච්චි ප්‍රදේශයේ පිහිටි අක්කර හතක ඉඩමක් යුද හමුදාව විසින් ඊයේ (16) යළි බාර දී තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මෙම භූමියේ ගොඩනැගිලි සංකීර්ණ ගණනාවක් පිහිටා තිබේ. 2002 වසරේ අප්‍රේල් 10 දා ප්රභාකරන් දකුණේ ජනමාධ්‍යවේදීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වන ලද්දේද මෙම ඉඩමේ පිහිටි ගොඩනැගිලි සංකීර්ණයක් තුළදීය.

මීට අමතරව උතුරේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් සහ කොටි නායකයින් අතර පැවති විශේෂ සාකච්ඡා සඳහා ද යොදා ගනු ලැබුවේ විශාල අඹ වත්තක පිහිටි මෙම මධ්‍යස්ථානයයි. එම සාකච්ඡා වලට සහභාගී වූ අමුත්තන්ට අතුරුපස ලෙස ලබා දුන් කර්තකොලොම්බන් අඹ සපයා ගෙන ඇත්තේද මෙම අඹ වත්තේ අස්වැන්නෙනි.
2009 වසරේදී යුද හමුදාව විසින් කිළිනොච්චිය අත්පත් කර ගැනීමෙන් පසුව මෙම ගොඩනැගිලි සංකීර්ණය හමුදාවේ ප්‍රයෝජනය සඳහා ලබාගෙන තිබුණි.
වසර 15කට පමණ පසු මෙම ඉඩම සහ ගොඩනැගිලි යළිත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත බාර දීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.
යුද සමයට පෙර මෙම ස්ථානය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුහුණු සැසි පවත්වන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූ අතර, ඉඩම නිදහස් කිරීමෙන් පසුව යළිත් එම කටයුතු සඳහාම එය යොදා ගැනීමට නියමිතය.







