ජාලිය වීරක්කොඩි –
-
වන්නිනායකගේ කාර් එකේ සිට ප්‍රසන්නගේ බස් රථ 4 දක්වා: රටට ලැබුණු ‘පගාවේ’ ඓතිහාසික දේශපාලනය ගැන කියවන්න…
ඒ ගත වෙමින් තිබුණේ 1968 වසරය. වොෂින්ටන් නුවර පැවැති ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවේ සභාපතිත්වය දැරීමට ලංකාව වැනි කුඩා රටක මුදල් ඇමතිවරයෙකු තේරී පත්වීම එදා සුවිශේෂී ජාත්‍යන්තර ඇගයීමක් විය. ඒ ගෞරවය හිමිව තිබුණේ ඩඩ්ලි සේනානායක රජයේ මුදල් ඇමති යූ.බී. වන්නිනායකටය.
සමුළුවේ කටයුතු නිමවද්දී සංවිධායකයෝ එතුමා වෙත පැමිණ සුබ පතමින් සුවිශේෂී ත්‍යාගයක් පිරිනැමූහ. ඒ එකල ලොව තිබූ ඉහළම වටිනාකමකින් යුතු නවීන මෝටර් රථයකි.
“ මේ රථය කුමක් ද?. ඇයි මෙය මට ලබා දෙන්නේ?. මා හිතන්නේ මේ රථයේ වටිනාකම මුදලට හරවා ලංකාවේ භාණ්ඩාගාරයට යැවීම සුදුසුයි. “ මුදල් ඇමතිවරයා ඇසුවේය.
“මෙය ඔබේ පෞද්ගලික පාවිච්චිය සඳහා පිරිනමන තෑග්ගක්. මෙය රජයට අයිති දෙයක් නෙවෙයි,” යැයි සංවිධායකයෝ අවධාරණය කළහ.
එහෙත් වන්නිනායක ලබාදුන් පිළිතුර අදටත් දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත්තේය.
“මා මෙම සමුළුවට සහභාගී වූයේ යාපහුවේ වන්නිනායක ලෙස නොව, ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයා ලෙසයි. ඒ නිසා මට ලැබෙන ඕනෑම ගෞරවයක් හෝ ත්‍යාගයක් හිමි විය යුත්තේ මා නියෝජනය කළ මගේ රටටයි.”
එම මෝටර් රථය ලංකාවට ගෙන්වා ගන්නවා වෙනුවට එහි සම්පූර්ණ වටිනාකම ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරයට බැර වීම ඔහුගේ උපදෙස් මත ඉන් පසු සිදු විය.
යූ.බී වන්නිනායකලාගේ ආදර්ශය හීනවලටත් දුර සුරංගනා කතා වූ අතීතයක් ඉන් පසු අපි පසු කර ආවෙමු. ආර්ථික සංවර්ධන ඇමතිලා මිස්ටර් ටෙන් පසන්ට් ලෙස හඳුන්වනු ලැබුවේය. සෑම සියලු රාජ්‍ය දේපලකින්ම ව්යාපාරකයින්ම අශ්ලීල ලෙස ගසා කෑ කිණිතුල්ලන් බඳු දේශපාලකයින් පිරිසක් රටේ සමාජ ආර්ථික දේහයේ සාරය උරා බිවූ ආකාරය නාඩි වැටෙන ඕනෑම එකෙක් දන්නේය.
අන්තිමට රට බංකොලොත් වුනේය. රටේ ඩොලරයක් නැති වුනේය. මේ වනවිට ගොබ්බයන් කියමින් සිටින විදේශීය කුමන්ත්‍රණ නොව, පීඩනය දරාගත නොහැකි මිනිස්සු පාරට බැස කළ අරගලයක් තිබිණි. දේශපාලන පෙරළිය එහි ප්රතිඵලයකි. එම පෙරළිය සර්වතෝ බද්‍ර වූ පරිපූර්ණ එකක් නොවන බවත් මේ මිනිසුන් දන්නේය. අප්‍රමාණ වැරදි අඩු පාඩු ඇති බවත් දන්නේය. එහෙත් එම පෙරළියේ ගැඹුරු හරාත්මක ව්‍යුහය යූ.බී වන්නිනායකලාගේ දේශපාලනයේ ගැඹුර ස්ඵර්ශ කරන බව පෙනෙමින් තිබෙන විට එය පමණක් ප්‍රමාණවත් නොවන්නේ දැයි අපට අසන්නට හිතෙන්නේය.
යූ.බී ලා දේශපාලනය කර දශක හයකට පසු නැවතත් ඇසෙන එවැනිම කතාවක් ලියා තබමු.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ අලුතින් පිහිටුවා ඇති මෙට්‍රෝ බස් සමාගම (Metro Bus Company) වෙනුවෙන් ආබාධිත ප්‍රජාවට ද ප්‍රවේශ විය හැකි low-floor බස් රථ 100ක් ඇණවුම් කෙරිනි..
රුපියල් මිලියන 42ක් බැගින් වටිනා මෙම බස් රථ ඇණවුම සඳහා සැපයුම්කරු සමඟ සාකච්ඡාවක් පැවැත්විනි. සාකච්ඡාව අතර නියෝජ්‍ය ඇමතිවරයාගේ පාර්ශවයෙන් ඉල්ලීමක් ඉදිරිපත් විය.
“මේ තරම් බස් රථ ප්‍රමාණයක් මිලදී ගනිද්දි ඔබට මේ ගනු දෙනුව වෙනුවෙන් කළ හැකි දේ කුමක් ද?” නියෝජ්‍ය ඇමතිවරයා විමසා සිටියේය.
“එය ඔබට තීරණය කළ හැකියි…” සමාගම් නියෝජිතයෝ කීහ.
“ මගේ රටේ ජනතාවට ලබා දිය හැකි හොඳම දේ ප්‍රතිලාභයක් ලෙස ඔබ ලබා දෙන්න. එය මගේ රටට මේ මොහොතේ දී වැදගත්” නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය.
සමාගම මිලියන 42ක් වටිනා බස් රථ 04ක් රටට නොමිලේ ප්රදානය කරන්නට එකඟ වූයේය. ප්රදානයේ වටිනාකම මිලියන 168කි. දාසය කෝටි අසූ ලක්ෂයකි.
බංකොලොත් වි ලේ මස් උරා බී හප කළ දේශපාලන පිශාච යුග පසුකර පැමිණි පසු අප ප්‍රාර්ථනා කළ දේශපාලනය අප ප්‍රාර්ථනා කළ දේශපාලන පරිවර්තනය මෙය නොවේ නම් කුමක් ද?. දැනට මේ කතාව ප්රමාණවත්ය. මෙම නව මෙට්‍රෝ බස් සේවාව යටතේ ආබාධිත පුද්ගලයින්ට පවා පහසුවෙන් ගමන් කළ හැකි බස් රථ 104 ක් ලබන අගෝස්තු මාසය වන විට මගී ජනතාව වෙනුවෙන් ධාවනයට එක් කිරීමට නියමිතය.







