සූරියවැව නුවන් ජයසේකර –
තණමල්විල නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් ගොවීන්ට ගැලුම්වලට ඉන්ධන ලබාදීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ප්‍රදේශයේ ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.
පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ වගාවන් සඳහා ජලය සැපයීමට යොදාගන්නා මෝටර් සහ වගා ආරක්ෂක දියර ඉසින යන්ත්‍ර සඳහා පෙට්‍රල් අත්‍යවශ්‍ය වී ඇති බව ඔවුහු පෙන්වා දෙති.
ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ගොවි සංගම් මගින් ලබාගත් අනුමත ලේඛන ඉදිරිපත් කළද, අදාළ පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් නොකරන බවට ගොවීන් චෝදනා කරයි. මේ පිළිබඳව අදාළ ඉන්ධන හල් හිමිකරුගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ රජයේ නිලධාරීන්ගේ හෝ දිසාපතිවරයාගේ නියෝග තමන්ට අදාළ නොවන බවය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් පමණක් ලිඛිතව දැනුම් දෙන්නේ නම් ගැලුම්වලට ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තණමල්විල ප්‍රාදේශීය ලේකම් කැලුම් නිශාන්ත සහ ප්‍රාදේශීය සභාවේ සභාපති මහේෂ් බණ්ඩාර යන අයගෙන් විමසීමේදී ඔවුන් පැවසුවේ ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ලබාදෙන ලෙස සියලුම ඉන්ධන හල් හිමියන්ට දැනුම් දී ඇති බවය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් වහාම සොයා බලා මොනරාගල දිසාපතිවරයා දැනුවත් කර අදාළ ඉන්ධන හල් හිමියාට එරෙහිව පියවර ගන්නා බව ද ඔවුහු අවධාරණය කළහ.







