අසේල් කුරුළුවංශ –
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ බිරිඳ වන මනොරි සලේ සහ ඇයගේ පුත් කුෂාල් සලේ අද (08) මහනුවරදී මල්වතු සහ අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක තිබේ.
මාධ්‍ය වෙත පූර්ව දැනුම්දීමකින් තොරව පැමිණි ඔවුන් දෙදෙනා, මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් සමඟ පැයකට අධික කාලයක් විශේෂ සාකච්ඡාවක නිරත වී ඇති බව වාර්තා වේ. මෙම හමුවේදී මනෝරි සලේ විසින් මහා නායක හිමිවරුන් වෙත විශේෂ ලිපියක් ද භාර දී ඇත.
විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ, දැනට අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට මැදිහත් වන ලෙස එම ලිපිය මඟින් මහා නාහිමිවරුන්ගෙන් ඉල්ලා ඇති බවය.
ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම ඛේදවාචකයක් වන පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සැලසුම් කිරීම සහ ඊට මෙහෙයවීම් කටයුතු සිදු කිරීමේ චෝදනාව මත, එම අපරාධයේ තුන්වන සැකකරු ලෙස සුරේෂ් සලේ මේ වන විට අත්අඩංගුවට පත්ව සිටී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස තුනක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන සුරේෂ් සලේ සම්බන්ධ මේ කලබැගෑනිය හිටිවනම ඇති වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් තහනමක් පැනවීමට අධිකරණය කටයුතු කිරීමෙන් අනතුරුව වීම දේශපාලන සහ ආරක්ෂක අංශ ක්ෂේත්රයන්හි දැඩි අවධානයට ලක්ව ඇත.









