සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවීමට ආසන්නය. කොළඹ සහ ඒ අවට රැකියා සහ වෙනත් අවශ්‍යතා සඳහා රැඳී සිටි ජනතාව තම උපන් ගම්බිම් බලා පිටත්ව යාමේ දැවැන්ත “වාර්ෂික කොළඹින් පිටවී යෑම” මේ වන විට ආරම්භ වී තිබේ.
අද (අප්‍රේල් 12) වන විට කොළඹ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළවල් සහ දුම්රිය ස්ථාන වෙත අති විශාල ජනකායක් රොක් වෙමින් සිටිති. ඔවුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා රජය සහ ප්‍රවාහන බලධාරීන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) ඒකාබද්ධව මෙවර විශේෂ අලුත් අවුරුදු ප්‍රවාහන සැලසුම දියත් කර තිබේ. මෙම විශේෂ සේවාවන් අප්‍රේල් මස 9 වැනිදා සිට ආරම්භ වූ අතර එය අප්‍රේල් 13 වැනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
නැවත සේවයට වාර්තා කරන ජනතාව වෙනුවෙන් අප්‍රේල් 17 සිට 21 දක්වා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇත.
විශේෂ බස් සහ දුම්රිය සේවා
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දිනකට අමතර බස් රථ 250කට ආසන්න සංඛ්‍යාවක් දුර පළාත් මාර්ගවල යෙදවීමට කටයුතු කර තිබේ. මගී ඉල්ලුම ඉහළ යන ආකාරය අනුව තවත් බස් රථ යෙදවීමට රාජ්‍ය ප්‍රවාහන අංශ සූදානමින් සිටී. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්නට අනුව ගමනාගමන මණ්ඩලය සතු බස් රථ 1,500කට අධික සංඛ්‍යාවක් මෙම මෙහෙයුම සඳහා එක් කර තිබේ. පෞද්ගලික අන්තර්පළාත් බස් රථ දිනකට අමතර ගමන් වාර 800කට ආසන්න සංඛ්‍යාවක් සපයමින් මගී ජනතාවට සහනයක් වෙමින් පවතී.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ මෙවර කඳුරට දුම්රිය මාර්ගය ක්‍රියාත්මක නොවන බැවින් මාර්ග පද්ධතිය වෙත පැවරෙන ධාරිතාව කළමනාකරණය කිරීමේ අභියෝගය සමග ක්‍රියාත්මක වු බවය.
සාමාන්‍යයෙන් මෙවැනි අවුරුදු වකවානුවක බස් රථ 1250ක් පමණ අතිරික්තව භාවිතා කළ ද මේ පවතින තත්ත්වය මත බස් රථ 1500ක් පමණ දුර ගමන් සේවා සඳහා කොළඹට ගෙන්වා ගැනීමට මණඩලය කටයුතු කර තිබේ. එමෙන්ම කොළඹ ප්‍රදේශයේ පමණක් බස් රථ 50ක ඇනියක් සූදානම්ව තිබේ. ඒ හදිසි අවස්ථාවක්දි කොළඹින් පිටතට ධාවනය කිරීම වෙනුවෙනි.
නැවත 16 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹින් ගම් රටවල් කරා ගමන් කළ ජනතාව යළි කොළඹට රැගෙන ඒම සඳහා හැටන්, බදුල්ල, කෑගල්ල, බණ්ඩාරවෙල, අනුරාධපුර, ත්‍රිකුණාමලය, යාපනය සහ පුත්තලම වැනි ප්‍රධාන නගර කරා දිවෙන මාර්ගවල කොළඹට ජනතාව රැගෙන ඒමට විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබේ. මගී
තදබදය අවම කිරීම සඳහා අධිවේගී මාර්ගවල ද විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක වේ.
දුම්රිය දෙපාර්තමේන්තුව ද අප්‍රේල් 10 වැනිදා සිට මුහුදුබඩ මාර්ගය, උතුරු මාර්ගය සහ ප්‍රධාන මාර්ග කිහිපයක විශේෂ දුම්රිය වාර කිහිපයක් එක් කර ඇත. බලධාරීන්ගේ අනාවැකි අනුව කොළඹ ප්‍රදේශයෙන් දිනකට මගීන් ලක්ෂ දෙකහමාරකට ආසන්න සංඛ්‍යාවක් පිටව යන අතර, බස් නැවතුම්පොළවල් තුළ පමණක් මගී සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහසක් පමණ වේ.
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නව මුහුණුවර
මෙවර අලුත් අවුරුදු සමයේ මගීන්ට ලැබුණු සුවිශේෂී දායාදයක් වන්නේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ පළමු අදියර නවීකරණය කර ජනතා අයිතියට පත් කිරීමය. 1964 වසරේ ඉදිකරන ලද මෙම ඓතිහාසික නැවතුම්පොළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ රුපියල් මිලියන 424ක පිරිවැයකින් නවීකරණය කර අප්‍රේල් 8 වැනිදා විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදු වූ මෙම ව්‍යාපෘතිය යටතේ නව තොරතුරු මධ්‍යස්ථානයක්, සනීපාරක්ෂක පහසුකම්, කිරිදෙන මව්වරුන් සඳහා වූ විවේක කාමර සහ නවීන ආසන පද්ධති ස්ථාපනය කර ඇත. 08 වැනිදා විවෘත වූ බස් නැවතුමෙන් ගමේ යන්නට 09 සිට ජනතාව පෙළ ගැසී පැමිණියහ.
නවීකරණය කළ බස් නැවතුම්පොළ පිළිබඳ ජනතාව තුළ සාධනීය අදහස් පළ වෙමින් ඇත. එහෙත් විවෘත කර දින කිහිපයක් ඇතුළත කාන්තා විවේකාගාරවල ජල කරාම කඩා දැමීම කඩාකප්පල්කාරී අශිෂ්ට සිදුවීම් වාර්තා විය. “බිඳ දැම්මේ ටැප් එකක් නොවෙයි… මිලියන ගණනක ජනතාවගේ හදවත්වල පිබිදුන ප්‍රාර්ථානාවයි..” මේ සිද්ධියෙන් කම්පනයට පත් වූ සමාජ මාධ්‍ය ඔස්සේ කියැවෙමින් තිබිණි.
අප්‍රේල් 10 වැනිදා කොටුව මධ්‍යම බස් නැවතුම්පලේ නිරීක්ෂණයක නිරත වූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළේ මෙය සංවිධානාත්මක විනාශකාරී ක්‍රියාවක් බවත්, මින් ඉදිරියට එවැනි පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය. රටේ බදු මුදල්වලින් ඉදි කළ මෙවැනි පොදු දේපළ ආරක්ෂා කර ගැනීම සමස්ත ප්‍රජාවගේම වගකීමක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
වත්මන් මගී තදබදය සහ පාලනය
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (MMC) ඇතුළු ප්‍රධාන මධ්‍යස්ථානවල අද දිනයේද දැඩි මගී තදබදයක් දක්නට ලැබිණි. විශේෂයෙන් අධිවේගී මාර්ග බස් රථ සඳහා දිගු පෝලිම් නිර්මාණය වී තිබුණද, වෙනදා මෙන් මගීන් දැඩි ලෙස අසරණ වන හෝ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන ස්වරූපයක් වාර්තා නොවීම විශේෂත්වයක් විය. ප්‍රමාණවත් තරම් බස් රථ යොදවා ඇති බවටත්, මගී ඉල්ලුම අනුව අඛණ්ඩව සේවාවන් සපයන බවටත් බලධාරීහු වගවූහ. එම ප්‍රායෝගික මැදිහත්වීම ප්‍රශ්න අවම කළේය.
සමස්තයක් ලෙස ගත් කල, මෙවර අලුත් අවුරුදු ප්‍රවාහන මෙහෙයුම සැලසුම් සහගත ලෙස ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබේ. තදබදයක් පැවතියද, රජයේ සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධ මැදිහත්වීම මත ජනතාවට තම ගම්බිම් බලා යාමට අවශ්‍ය පසුබිම සකස් කර දී ඇත.
මේ තත්ත්වය කළමනාකරණය වන්නේ පොල්ගහවෙලින් එපිටට දුම්රිය නොයන පසුබිමක් තුළය. උඩරට මාර්ගය ව්‍යසනයට ලක් වී ඇති පසුබිමක් තුළය. අභියෝග කළමනාකරණයේ ප්‍රායෝගික සාර්ථකත්වය රටක බොහෝ වෙනස්කම් ඇතිකිරීමට නියමිතය.







